4. මාර සංයුත්තය
1. ආයු වර්ගය
4. 1. 1.
තපෝකම්ම සූත්රය
137. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා තෙරැ අජපල් නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවේකයෙන් වැඩහුන් භාග්යවතුන් වහන්සේට “ඒ දුෂ්කරක්රියායෙන් ඒකාන්තයෙන් මිදුනෙම් වෙමි. ඒ නොවැඩ ඇසුරු කළ දුෂ්කරක්රියායෙන් ඒකාන්තයෙන් මැනවින් මිදුනෙම් වෙමි. ස්ථිර ව එළඹසිටි සිහි ඇත්තෙම් මැනවින් සත්යාවබෝධය කළෙමි” යි මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය.
ඉක්බිති පවිටු මරු තෙමේ තමසිතින් භාග්යවතුන් වහන්සේගේ චිත්තවිතර්කය දැන භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
යම් තපසෙකින් මනුෂ්යයෝ පිරිසිදු වෙද්ද, ඒ තපස්කර්මයෙන් ඉවත් ව අශුද්ධ වූයේ ම ශුද්ධිමාර්ගය වැරදවූයේ ශුද්ධි යයි හඟිහි ද,
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යි දැන පවිටු මාරයාහට ගාථාවලින් පෙරළා වදාළ සේක:
අමර නම් වූ යම්කිසි තපසෙක් වේ ද, (ඒ සියල්ල) අනර්ත්ථසංහිත යයි දැන (අත්හළෙමි.) ඒ සියල්ල වැඩ සිදුකරන්නේ නො වේ. (කෙසේ ද? යත්:) මරුකතරෙහි රිටිපලුපත් මෙනි. (මරුකතරෙහි වූ නැවක් රිටිපලුපත් ගෙණ පදවන්නට නො හැක්කාක් මෙනි.)
ශීලය ද සමාධිය ද ප්රඥාව ද යන ආර්ය්යමාර්ගය සත්යාබෝධය පිණිස වඩමින් පරමශුද්ධියට පැමිණියෙම් වෙමි. මාරය, තෝ නටුයෙහි.
ඉක්බිති පවිටු මරු තෙමේ භාග්යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 2.
නාග සූත්රය
138. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා තෙරැ අජපල් නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ රෑ දැඩිගනඅඳුරෙහි එළිමහනෙක වැඩහුන් සේක. වැස්ස ද එක්එක් පොද හෙළයි.
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්යවතුන් වහන්සේට බිය වෙවුළුම ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තේ මහත් ඇත්රජවෙසක් මවා ගෙණ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ හිස මහකළුගලක් වැන්න. ඔහුගේ දත් පිරිසිදු රිදී වැන්න. ඔහුගේ සොඬය නගුලිස්දඬක් වැන්න.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යි දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක.
දීර්ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභ වේශවිලාස කොට (මා වෙත) පැමිණියෙහි ය. මාරය, එයින් තට කම් නැත. මාරයා, තෝ නටුයෙහි.
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටුසිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 1. 3.
සුභ සූත්රය
139. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සම්බෝධියෙන් පළමුවලා උරුවෙල් දනව්වෙහි … වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ රෑ දැඩිගනඳුරෙහි අබවස වැඩහුන් සේක. වැස්ස ද එක්එක් පොද හෙළයි.
එකල්හි පවිටු මරු තෙමේ භාග්යවතුන් වහන්සේට බියවෙවුළුම ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි ප්රිය වූත් අප්රිය වූත් විසිතුරු සටහන් දක්වයි.
එකල්හි භාග්යවතුන් වහන්සේ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවලින් වදාළ සේක:
දීර්ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභවේශ විලාස කොට (මා වෙත ආයෙහි ය.) එම්බල පවිටු මරුව, තට එයින් කම් නැත. මරුව තෝ නටුයෙහි.
යම් කෙනෙක් කයින් ද වචනයෙන් ද සිතින් ද දසංවෘත වෙද්ද, මරුව, ඔහු තට වසඟ නොවෙත්. ඔහු මාරයාගේ බැම්මට අසු (-අතැවැස්සෝ) නො වෙත්.
එකල්හි පවිටු මරු තෙමේ “භාග්යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය”යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.