2. රජ්ජ වර්‍ගය
4. 2. 1.
පාසාණ සූත්‍රය
147. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පවුවෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරුයෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකි එකි පොද හෙළයි.
එකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය තැතිගැනුම ලොමුදහගැණුම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි මහත් මහත් ගල් විහිටි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යී දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක:
ඉදින් මේ මුළු ගිජුකුළුපවුව ම සලනෙහි නම්, මොනොවට මිදුනු බුදුවරයන්ට කම්පනයෙක් නහමක් ඇත් මැ ය.
ඉක්බිති පවිටු මාරයා භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය යි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
4. 2. 2.
සීහ සූත්‍රය
148. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.
එකල්හි පවිටු මරුට “මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) නුවණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු”යි මේ අදහස වි ය. ඉක්බිති පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කිම? පිරිස්හි සිංහයෙකු මෙන් විශාරද ව (=නො බිය පත් ව) නාද කෙරෙහි නු? දුනු විජය ඇතියෙමි යි හඟිහි ද? මුබට ප්‍රතිමල්ලයෙක් (=සතුරෙක්) ඇත් ම ය.
[භගවත්හු:]
ලොව තෘෂ්ණාව තරණය කළ බලයට පැමිණි මහාවීර වූ තථාගතයෝ ඒකාන්තයෙන් පිරිස්හි විශාරද වූවාහු නාද කෙරෙත්.
ඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.
4. 2. 3.
සකලික සූත්‍රය
149. මා විසින් අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ජී නම් මුවවෙනෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්කඩෙකින් පහරණ ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට ශරීරයේ හටගත් දැඩි රළු කුළු නොමිහිරි නොකල් මහත් දුක් වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සිවුගුණ කොට පණවා දකුණු පා මත වම් පා මඳක් හයා තබා සිහි නුවණ ඇති ව දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක.
එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
මුළා බැවින් හෝ කවිභාවයෙන් මත්වූයේ හෝනෙහි නු? මුබට බොහෝ වූ වැඩ නැත් ද? ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි නිදිබර මුහුණු ඇති ව හුදෙකලාව ම කුමක් හෙයින් හෝනෙහි ද?
[භගවත්හු:]
මුළා බැවින් නො නිදමි. කවිභාවයෙන් මත්වූයෙම් නො නිදමි. මම පරමාර්‍ත්‍ථයට මැනවින් පැමිණ පහ ව ගිය ශෝක ඇත්තෙම් වෙමි. මම සර්‍වභූතහිතානුකම්පී ව ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි හුදෙකලාව හෝනෙමි.
යම් කෙනකුන්ගේත් ලෙහි තියුණු හුලෙක් පිවිසියේ ද, හෘදය ක්‍ෂණ ක්‍ෂණයෙහි සැලෙන්නේ වේ ද, මේ ලෝකයෙහි (ඒ රාගාදි) හුල් ඇති ඔහු ද නිදි ලබත්. පහව ගිය (රාගාදී) හුල් ඇති මම කුමක් හෙයින් නො නිදම් ද!
නිදි වරන්නෙම් ද සැක නො කරමි. නිදන්නටත් නොබමි. රෑදාවල්හු මා නහමක් තවත්. ලොව කිසිතැනෙක (මාගේ) පිරිහීමක් නො දකිමි. එහෙයින් සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරණ සුලු වූයෙම් හෝනෙමි.
එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී … එහි ම අතුරුදහන් විය.