4. 2. 10.
රජ්ජ සූත්‍රය
156. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙසෙහි වන කිළියෙක වැඩ වසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවේකයෙහි යෙදුනු භාග්‍යවතුන් වහන්සේට “නො නස්මින් නො නස්වමින් පරස්වහරණය (ධනහානිය) නො කරමින්-නොකරවමින් ශෝක නො කරමින් නොකරවමින් දැහැමින් රජය කරවන්නට හැක්කේ දෝ”යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
ඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් භාග්‍යවතුන් වහන්සේ සිත්හි පරිවිතර්‍කය දැන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: වහන්ස, භගවත් තෙමේ නො නස්වමින් නො නස්වමින් ධනහානි නො කරමින්-නො කරවමින් ශෝක නො කරමින් ශෝක නො කරවමින් දැහැමෙන් රජය කෙරේවා. සුගත තෙමේ රජය කෙරේවා යි.
[භගවත්හු:]
පවිට, “වහන්ස, භගවත් තෙමේ නො නස්මින් නො නස්වමින් ධනහානි නො කරමින් නො කරවමින් ශෝක නො කරමින් නො කරවමින් දැහැමින් රජය කෙරේවා, සුගත තෙමේ රජය කෙරේවා”යි යම්හෙයෙකින් තෝ මට මෙසේ කියහි ද, තෝ කුමක් දකිහි ද?
[මරු:]
වහන්ස, භගවත්හු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහ. බහුල කරණ ලද්දාහ. යානයක් මෙන් කරන ලද්දාහ. වාස්තුවක් මෙන් කරණ ලද්දාහ. නිතර තමා කෙරෙහි පිහිටුවන ලද්දාහ. පුරුදු කරණ ලද්දාහ. භාවනායෙන් සම්පූර්‍ණ කරණ ලද්දාහ. වහන්ස, ඉදින් භගවත් තෙමේ කැමති වන්නේ හිමවත් මහපව්ව රන් ම යයි සිතන්නේ නම් රන්පව්වෙක් වන්නේ ය.
[භගවත්හු:]
ස්වර්‍ණසඞ්ඛාත ජාතරූපයෙන් නිමි හුදු පව්වෙක් වේ නම් එමෙන් දෙගුණයක් මහත් පව්වක් වුව ද එක් පුරුෂයකුගේ සිතට නොසෑහේ. මෙසේ දන්නා නුවණැත්තේ සම ව හැසිරෙන්නේ ය.
යම් පස්කම් කෙනකුන්ගේ හේතුයෙන් දුක පහළ වේ යයි යමෙක් දුක දිටි නම් ඒ සත්‍ව තෙමේ කෙසේ පස් කම් සුවෙහි නැමෙන්නේ ද (නුවණැති) සත්‍ව තෙමේ ලෝකයෙහි පස්කම්හු ‘සඞ්ගයහ’යි දැන පස්කම් දුරලීම පිණිස ම හික්මෙන්නේ ය.
ඉක්බිති පවිටු මාර තෙමේ භගවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.
රජ්ජ වර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
පාසාණ, සීහ, සකලිකා, පතිරූප, මානස, පත්ත, ආයතන, පිණ්ඩ, කස්සක, රජ්ජ ය යි සූත්‍ර දශයෙකි.
3. මාර වර්‍ගය
4. 3. 1.
සම්බහුල සූත්‍රය
157. මා විසින් අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි සිලාවති ගම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙත්.
එකල්හි පවිටු මාර තෙමේ බමුණු වෙසක් මවා ගෙණ මහත් දළසුඹුළුයෙන් යුක්ත ව හැඳි පෙරෙවි අඳුන්දිවිසම් ඇතියේ ජරායෙන් දිරූයේ ගොවනැස්සක් මෙන් වක් වූයේ ඝුරු ඝුරු හඬින් ප්‍රශ්වාස කරණසුලු වූයේ දිඹුල්දඬක් අතින් ගෙණ ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට “භවත් පැවිද්දෝ දහරයහ. මනා අභිනීල කෙහෙ ඇතිය හ. සොඳුරු යොව්නෙන් පළමු වයසින් යුක්තයහ. කම්කෙළියෙහි කෙළුම් නොකළසුල්ලහ. භවත්හු මිනිස් කම්සුව විඳිත්වා. මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතු වූ සුව කරා නුදුවත් වා” යි කී.
බමුණ, අපි මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතු සුව කරා නොදුවමු. බමුණ, අපි කල් ගෙවා වින්ද යුතු සුව හැර මේ අත්බැව්හි වින්ද යුතු සුව කරා දුවමු. බමුණ, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇතියහ. දැඩි ආයාස ඇතියහ. මෙහි දොස් බොහෝහ. මේ ලොවුතුරු දහම මේ අත්බැව්හි තමන් විසින් ම වින්ද යුතු ය. කල් නොයවා විපාක දෙන සුලු ය. එව බලව යි කීමට සුදුසු ය. තමසිත්හි පමුණුවා ලීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතුය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය.
මෙසේ කී කල්හි පවිටු මාර තෙමේ හිස යටිකුරු කොට සලා දිව නෙරා ලෙළවා නළලෙහි තුන් රැළි ඇති බැමබිඳුම් නංවා දණ්ඩ එල්බ ගෙන ගියේ ය.