4. 2. 8.
පිණ්ඩ සූත්‍රය
154. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි පඤ්චශාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චශාලා බමුණුගමෙහි කුමරුන්ගේ (ඔවුනොවුන් යවන) තුටුපඬුරු කෙනෙක් වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ පඤ්චශාලා නම් බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි පඤ්චශාලා වැසි බමුණු ගැහැවියෝ පවිටු මරු විසින් “මහණගොයුම් තෙමේ පිඬු නොලබාවා!” යි අවිෂ්ට වෙත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ යථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පඤ්චශාලා බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක් ද, තථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පෙරළා වැඩි සේක.
ඉක්බිති පවිටු මාරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: ශ්‍රමණය, පිඬු ලැබුවෙහි ද?
පවිට, මම යම්සේ පිඬු නො ලබන්නෙමි නම් තෝ එසේ කෙළෙහි නො?
වහන්ස, එසේ නම් භගවත් තෙමේ දෙවනවට දූ පඤ්චශාලා බමුණුගමට පිවිසේවා. භගවත් තෙමේ යම්සේ පිඬු ලබන්නේ නම් මම එසේ කරන්නෙමි.
[භගවත්හු:]
මාර තෙමේ ඒ තථාගතයන් ගටා පව් රැස් කළේ ය. පවිට, “මාගේ පව් නොපැසෙති”යි කිම සිතයි ද?
යම්බඳු වූ අපට (රාගාදි) ක්ලේශජාතයෙක් නැද්ද (එසේ වූ අපි) ඒකාන්තයෙන් ඉතා සැපසේ ජීවත් වම්හ. ආභස්සර බඹලොව වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇත්තමෝ වම්හ.
එකල්හි පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.
4. 2. 9.
කස්සක සූත්‍රය
155. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සිත හර්‍ෂ ගන්වන සේක. ඒ භික්‍ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්.
එකල්හි පවිටු මරුහට මේ අදහස වි ය. “මේ මහණ ගොයුම් නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන් … හර්‍ෂ ගන්වයි ඒ භික්‍ෂූහු ද … බණ අසත්. පැණැස වනසන්නට මහණ ගොයුම් වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි!
ඉක්බිති පවිටු මාර තෙමේ ගොවිවෙසක් මවා ගෙණ මහ නඟුලක් කර තබාගෙණ දික් කෙවිටිලීයක් ගෙණ හෘතාහෘත කේශ (ඔබමොබ විසිර ගිය කෙහෙ) ඇත්තේ හණ වතක් ඇඳ ගත්තේ මඩ වැකුණු පයින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ශ්‍රමණය, ගොනුන් දැක්කෙහි ද?
පවිට, තට ගොණුන්ගෙන් කවර වැඩෙක් ද?
ශ්‍රමණය, ඇස මාගේ ම ය. රූප මාගේ ම ය. චක්ඛුසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කොහි ගොස් මාකෙරෙන් මිදෙන්නෙහි ද? ශ්‍රමණය, කණ මාගේ ම ය. ශබ්දයෝ මාගේ ම ය. සෝතසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, නැහැය මාගේ ම ය, ගන්‍ධයෝ මාගේ ම ය. ඝාණසම්පස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, දිව මාගේ ම ය. රස මාගේ ම ය, ජිව්හාසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කය මාගේ ම ය, ස්ප්‍රෂ්ටව්‍ය මාගේ ම ය. කායසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, සිත මාගේ ම ය, දහම් මාගේ ම ය, මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කොහි ගොස් මාකෙරෙන් මිදෙන්නෙහි ද?
පවිට; ඇස තාගේ ම ය. රූප තාගේ ම ය. චක්ඛුසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. එවිට, යම් තැනෙක ඇස නැද් ද, රූප නැද් ද, චක්ඛුසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.
කණ තාගේ ම ය, ශබ්ද තාගේ ම ය, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණායතනය තාගේ ම ය. පවිට, යම්තැනෙක කණ නැද් ද, ශබ්ද නැද් ද, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.
පවිට, නැහැය තාගේ ම ය. ගන්‍ධයෝ තාගේ ම ය. ඝානසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … පවිට, එහි තාගේ ගමනෙක් නැත.
පවිට, දිව තාගේ ම ය, රස තාගේ ම ය, ජිව්හාසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … පවිට, එහි තාගේ ගමනෙක් නැත.