4. 2. 7.
ආයතන සූත්‍රය
153. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ෂට්සප්ර්‍ශායතනයන් පිළිබඳ දැහැමි කතාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. හිත හර්‍ෂ ගන්වන සේක. ඒ මහණහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්.
එකල පවිටු මරුහට මේ අදහස විය: “මේ මහණගොයුම් ෂට් ස්පර්‍ශායතනයන් පිළිබඳ දැහැමි කතාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. සමාදන් කරවයි. උත්සාහවත් කරයි. හර්‍ෂ ගන්වයි. ඒ මහණහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්. පැණැස වනසන්නට මහණගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි”
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහත් බියජනක හඬක් කළේ ය. පොළොව පෙරළන්නක් සෙයිනි.
ඉක්බිති එක්තරා මහණෙක් එක්තරා මහණෙකුට “මහණ. මහණ, මේ පොළොව (‘පටත් පටත්’ යන අනුකරණ දෙමින්) පෙරෙළෙන්නාක් මෙනැයි මෙය කී ය.
මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට “මහණ, මේ පොළොව පෙරෙළෙන්නේ නොවේ. මේ පවිටු මරු ය. තොපගේ පැණැස වනසන්නට ආයේ යයි මෙය වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:
සියලු රූපයෝ ද ශබ්දයෝ ද රසයෝ ද ගන්‍ධයෝ ද ස්පර්‍ශයෝ ද ධර්‍මයෝ ද යන මෙය දරුණු ලෝකාමිෂය වේ. ලෝ වැස්සා මෙහි දැඩි ලෙස ඇලුනේ ය.
බුදුරජානන් වහන්සේගේ සිහි ඇති ශ්‍රාවක තෙමේ මේ ෂඩායතන ද ඉක්මවා මරුට ස්ථාන වූ භවත්‍රය ද පසු කොට හිරු මෙන් බබලයි.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදහන් වි ය.
4. 2. 8.
පිණ්ඩ සූත්‍රය
154. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි පඤ්චශාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චශාලා බමුණුගමෙහි කුමරුන්ගේ (ඔවුනොවුන් යවන) තුටුපඬුරු කෙනෙක් වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ පඤ්චශාලා නම් බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි පඤ්චශාලා වැසි බමුණු ගැහැවියෝ පවිටු මරු විසින් “මහණගොයුම් තෙමේ පිඬු නොලබාවා!” යි අවිෂ්ට වෙත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ යථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පඤ්චශාලා බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක් ද, තථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පෙරළා වැඩි සේක.
ඉක්බිති පවිටු මාරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: ශ්‍රමණය, පිඬු ලැබුවෙහි ද?
පවිට, මම යම්සේ පිඬු නො ලබන්නෙමි නම් තෝ එසේ කෙළෙහි නො?
වහන්ස, එසේ නම් භගවත් තෙමේ දෙවනවට දූ පඤ්චශාලා බමුණුගමට පිවිසේවා. භගවත් තෙමේ යම්සේ පිඬු ලබන්නේ නම් මම එසේ කරන්නෙමි.
[භගවත්හු:]
මාර තෙමේ ඒ තථාගතයන් ගටා පව් රැස් කළේ ය. පවිට, “මාගේ පව් නොපැසෙති”යි කිම සිතයි ද?
යම්බඳු වූ අපට (රාගාදි) ක්ලේශජාතයෙක් නැද්ද (එසේ වූ අපි) ඒකාන්තයෙන් ඉතා සැපසේ ජීවත් වම්හ. ආභස්සර බඹලොව වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇත්තමෝ වම්හ.
එකල්හි පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.