3. 4. 9.
අරණවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් මහවෙහෙර වැඩ වාස කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල අරණවිභඞ්ගසූත්‍රය වදාළ සේක:
මහණෙනි, තොපට අරණවිභඞ්ගය දෙසමි. ඒ විභඞ්ගය අසව, මනා කොට මෙනෙහි කරව, කියමි’යි වදාළෝ.
‘වහන්ස, එසේ යැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. භාග්‍යවතුන් වහන්සේ තෙල විභඞ්ගය වදාළසේක:
හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ කාම සුඛයෙහි නො යෙදෙන්නේ යැ. දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ ආත්මක්ලමථුයෙහි නො යෙදෙන්නේ යැ. “මහණෙනි, මෙකී ඒ උභයාන්තයන් නො ගෙන තථාගතයන් වහන්සේ විසින් නුවණැස කරන ඥානය කරන උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස වැටෙන මධ්‍යමප්‍රතිපදා තොමෝ අවබෝධ කරනලදු. (කිසි පුඟුලකු) හුවාලීම ද දන්නේ යැ. හෙළාලීම ද දන්නේ යැ. හුවාලනුදු දැන හෙළාලනුදු දැන (ගෙහසිත වශයෙන් කිසිපුඟුලක්හු) නො මැ හුවන්නේ යැ නො හෙළන්නේ යැ. ස්වභාවය මැ කියන්නේ යැ. විනිශ්චිත සුඛය දන්නේ යැ. විනිශ්චිත සුඛය දැන අධ්‍යාත්මසුඛයෙහි යෙදෙන්නේයැ. නො හමුයෙහි අයුණු (පිසුනු) නො කියන්නේ යැ. හමියෙහි කිලිටිබස් නො බණන්නේ යැ. ත්‍වරිත නො වී බණන්නේ යැ. ත්‍වරිත වැ නො බණන්නේ යැ. ජනපද නිරුක්තියෙහි අභිනිවේශ නො කරන්නේ යැ. ලෝක ප්‍රඥප්තිය නො ඉක්මවන්නේයැ. අරණවිභාගයාගේ මේ උද්දේස යි.
‘හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහි වැටෙන (එහෙයින්) අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ කාමසුඛයෙහි නො යෙදෙන්නේ යැ. දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ අත්තකිලමථානු යෝගයෙහි නො යෙදෙන්නේ යැ’යි මෙසෙයින් තෙල බසෙක් කියනලද ද, මෙබස් කුමක් පිණිස කියනලද යැ යත්: ‘කාමෝපසංහිතසුඛයෙන් සුඛිත වූවහුගේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ යම් සෞමනස්‍යානුයෝගයෙක් ඇද්ද, තෙල ධර්‍මය සදුඃඛ යැ උපඝාත සහිත යැ උපායාස සහිත යැ පරිදාහ සහිත යැ. මිථ්‍යාප්‍රතිපත් වෙයි. කාමප්‍රතිසන්‍ධිසුඛ ඇත්තහුගේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ යම් සෞමනස්‍යානුයෝගයක නො යෙදීමෙක් වේ ද තෙල දහම දුඃඛ රහිත යැ උපඝාත රහිත යැ උපායාස රහිත යැ පරිදාහ රහිත යැ සම්‍යක් ප්‍රතිපත්ති වෙයි. දුඃඛ වූ අනාර්‍ය්‍ය අනර්‍ත්‍ථසංහිත වූ යම් අත්තකිලමථානුයෝගයෙක් ඇද්ද, තෙල දහම දුඃඛ සහිත යැ උපඝාත සහිත යැ උපායාස සහිත යැ පරිදාහ සහිත යැ මිථ්‍යාප්‍රතිපත් වෙයි. දුඃඛ වූ අනාර්‍ය්‍ය අනර්‍ත්‍ථසංහිත වූ යම් අත්තකිලමථානුයෝගයෙක නො යෙදීමෙක් ඇද්ද, තෙල දහම අදුඃඛ යැ අනුපඝාත යැ අනුපායාස යැ අපරිදාහ යැ සම්‍යක්ප්‍රතිපත්ති වෙයි. ‘හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ කාමසුඛයෙහි නො යෙදෙන්නේ යැ’ දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ යම් අත්තකිලමථානුයෝගයෙහි නො යෙදෙන්නේ යැ’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද මෙබස තෙල පිණිස කියනලදි.
තෙල උභයාන්තයන්ට නො පැමිණ තථාගතයන් විසින් නුවණැස ඇති කරන නුවණ ඇති කරන ක්ලේශෝපශමය පිණිස අභිඥාව පිණිස සත්‍යාවබෝධය පිණිස වැටෙන මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරනලදැ’යි. මෙසේ තෙල බසෙක් වදාරනලද ද තෙල කුමක් සඳහා වදාරනලද යැ යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. හෙමෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යැ යි. තෙල උභයාන්තයන්ට නො පැමිණ තථාගතයන් විසින් අභිසම්බුද්ධ වූ මධ්‍යමප්‍රතිපදාව නුවණැස ඇති කරන්නී යැ මාර්‍ගඥානය ඇති කරන්නී යැ ක්ලේශෝපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවත්නී යැ යි. මෙසේ යමක් වදාරනලද ද මෙය තෙල සඳහා වදාරන ලදි.
උස්සාදනය ද දන්නේ යැ අපසාදනය ද දන්නේ යැ උස්සාදනයත් දැන අපසාදනයත් දැන (ගෘහශ්‍රිත විසින් කිසි පුඟුලක්හු) හුවා නො දක්නේ යැ හෙළා නො දක්නේ යැ ස්වභාවධර්‍මය මැ කියන්නේ යයි. මෙසේ තෙල කියන ලද. තෙලබස් කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, හුවා දැක්වීමුදු හෙළාදැක්වීමුදු ස්වභාවධර්‍මය දෙසුමුදු කිසෙයින් වෙයි යත්:
‘හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි යෙදුණු කාමප්‍රතිසන්‍ධිසුඛ ඇත්තාහු ඇද්ද එහැම දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යාප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් කිසි කෙනකුන් හෙළා දක්නේ වෙයි. ‘හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි නො යෙදුණු කාමප්‍රතිසන්‍ධි සුඛයෙන් සුඛිත වූවෝ ඇද්ද එහැම අදුඃඛයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ පරිදාහ රහිතයහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසේ කිසිවකුත් හුවන්නේ වෙයි.
‘යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හෙළා දක්නේ වෙයි. ‘යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි නො යෙදුණාහු ද එහැමදෙන දුඃඛ රහිතයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ, පරිදාහ රහිතයහ, සම්‍යක් ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හුවන්නේ වෙයි.
‘යම් කෙනෙකුන්ට භවසංයෝජන අප්‍රහීණ වේ ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හෙළා දක්නේ වෙයි. ‘යම් කෙනෙකුන්ට විභවසංයෝජන ප්‍රහීණ වේ ද එහැමදෙන දුඃඛ රහිතයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ, පරිදාහ රහිතයහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හුවන්නේ වෙයි. මහණෙනි, මෙසේ උස්සාදන ද වෙයි, අපසාදන ද වෙයි, ධර්‍මදේශනා නො ද වෙයි.
මහණෙනි, කෙසේ උස්සාදන නො මැ වේ ද, අපසාදන නො වේ ද, ධර්‍මදේශනා වේ ද යත්: කාමප්‍රතිසන්‍ධියෙන් සුඛිත වූ යම් කෙනෙක් හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි නො යෙදුණාහු ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. ‘අනුයෝග සංඛ්‍යාත තෙල දහම දුඃඛ සහිත ය, උපඝාත සහිත ය, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපත්ති’ යයි මෙසේ කියනුයේ දහම් මැ කියයි.