3. 4. 10.
ධාතුවිභඞ්ග සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්යවතුන් වහන්සේ මගධදනවියෙහි සැරිසරනසේක් රජගහනුවර කරා වැඩිසේක. වැඩ භග්ගව කුම්භකාරයා කරා එළැඹිසේක. එළැඹ භග්ගව කුම්භකාරයාහට තෙල වදාළෝ: භාර්ගවය, ඉදින් තොපට නො බර වී නම් එක් රැයක් කුඹල්හලෙහි වසම්හ’යි.
වහන්ස, මට නො බර වෙයි, වැළි එකෙක් ඇත, මෙහි කැල මැ වාසෝපගත වූ පැවිද්දෙක් ඇත. ඉදින් හේ අනුදන්නේ වී නම් වහන්ස, යථාසුඛ විහරණ කළ මැනැවැ’ යි.
එසමයෙහි පුක්කුසාති නම් කුලපුත් බුදුන් උදෙසා සැදැහැයෙන් ගෙන් නික්ම සසුන් වන්නේ වෙයි. හේ ඒ කුම්භකාරාවෙසනයෙහි කැල මැ වාසෝපගත වෙයි. එසඳ බුදුහු පුක්කුසාති කුලපුතු කරා වැඩිසේක, වැඩ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්හට තෙල වදාළෝ: ඉදින් මහණ, තොපට නො බර වී නම් එක් රැයක් සිප්හලෙහි වසම්හ’යි. ඇවැත්නි, කුම්භකාරාවෙසනය සම්බාධ රහිත යැ. ආයුෂ්මත් යථාසුඛයෙන් වසන්නේ මැනැවැ.
එසඳ භාග්යවතුන් වහන්සේ කුඹල්සිප්හල් වැද එකත්පසෙක තණඇතිරිය පනවා පලක් අවුළුවා උපරිම කය ඍජු කොට තබා පරිමුඛ කොට සිහි එළවා වැඩ හුන්හු. එසඳ බුදුහු රැය බොහෝ වේලාවක් නිෂද්යායෙන් කල් ගැළවූසේක. ආයුෂ්මත් පුක්කුසාති කුලපුත් හු ද රැය බොහෝ වේලාවක් නිෂද්යායෙන් කල් ගැළවූහ. එසඳ භාග්යවතුන් වහන්සේට තෙල සිත් වී. මේ කුලපුත් ප්රසාද එළවනසුලු ඉරියවු කෙරෙයි, මම පුළුවුස්නෙම් මැනැවැ’ යි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්හට තෙල වදාළෝ. මහණ තෝ කවරක්හු උදෙසා පැවිදි වූයෙහි? තාගේ ශාස්තෘ කවරෙක හො? කවරක්හුගේ දහම් තෝ රුස්ව? යි.
ඇවැත්නි, සැහැකුලෙන් නික්ම පැවිදි වූ සැහැකුලපුත් මහණගොයුම් ඇත. ඒ භගවත් ගෞතමයන් වහන්සේගේ මෙසේ කල්යාණ වූ කීර්ති ශබ්දයෙක් උස්ව නැඟිණි: “මෙකරුණිනුදු භාග්යවතුන් වහන්සේ අර්හත්හ, සම්යක් සම්බුද්ධයහ, විද්යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්යසාරථියහ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ’ යි. මම ඒ භාග්යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයෙමි. මට ඒ භාග්යවතුන් වහන්සේ ශාස්තෘයහ. මම ඒ භාග්යවතුන් වහන්සේගේ දහම් රුස්මි යි.
මහණ, ඒ භගවත් අර්හත් සම්යක් සම්බුද්ධයෝ මෙකල කොහි වෙසෙත්දැ? යි.
ඇවැත්නි, උතුරු දනවියෙහි ශ්රාවස්ති නම් නගරයෙක් ඇත. එහි ඒ භගවත් අර්හත් සම්යක් සම්බුද්ධයෝ මෙකල්හි වාස කරන සේකැ’ යි.
මහණ, තොප විසින් ඒ භාග්යවත්හු දුටුවිරූහු ද? යළි දැක හඳුනන්නහු දැ? යි.
ඇවැත්නි, මා විසින් ඒ භාග්යවත්හු නුදුටුවිරූහ. මම් දැක ද නො හඳුනමි’ යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේට තෙල සිත් වී: ‘මේ කුලපුත් මා උදෙසා පැවිදි වූයේ වන, මම් ඕහට දහම් දෙසම් නම් මැනැවැ’ යි. ඉක්බිති බුදුහු ආයුෂ්මත් පුක්කුසාති කුලපුත් ඇමැතූසේක: ‘මහණ, තොපට දහම් දෙසන්නෙමි, ඒ අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.
‘එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ.
මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්රයෙක. සවැදෑරුම් ස්පර්ශායතන මාත්රයෙක. අටළොස් මනෝපවිචාරමාත්රයෙක, සතර ප්රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධිෂ්ඨානයෝ යි.) උත්සන්න වූ මඤ්ඤනාව නො පවත්නා කල්හි ක්ෂීණාස්රව මුනි තෙම ‘උපශාන්ත’ යයි කියනු ලැබේ. (අර්හත්ඵලප්රඥා ප්රතිවේධය පිණිස) සමාධිවිදර්ශනා ප්රඥායෙහි අප්රමත්ත වන්නේ යැ. වාක්සත්යය රක්නේ යැ. ක්ලේශපරිත්යාගය වඩන්නේය. ඒ මහණ ක්ලේශෝපශමය මැ හික්මෙන්නේ යයි. ෂඩ්ධාතුවිභඞ්ගයාගේ මේ උද්දේශ යැ.
‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්රයෙකැ’ යි මෙසේ තෙල කියන ලද, තෙල බස් කුමක් සඳහා කියනලද ද යත්: පෘථිවිධාතු යැ අබ්ධාතු යැ තෙජොධාතු යැ වායෝධාතු යැ ආකාශධාතු යැ විඥානධාතු යි. ‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්රයෙකැ’ යි මෙසේ යමක් කියන ලද ද මෙය තෙල සඳහා කියනලදි.
‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ස්පර්ශායතනමාත්රයෙකැ’ යි මෙසේ තෙල කියන ලද. තෙල කුමක් සඳහා කියනලද ද යත්: චක්ඛු සම්ඵස්සායතන යැ සෝතසම්ඵස්සායතන යැ ඝානසම්ඵස්සායතන යැ ජිව්හාසම්ඵස්සායතන යැ කායසම්ඵස්සායතන යැ මනෝසම්ඵස්සායතන යි. ‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ස්පර්ශායතනමාත්රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල පිණිස කියන ලදි.
‘මහණ, මේ පුරුෂ අටළොස් මනෝපවිචාරමාත්රයෙකැ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇසින් රූ දැක සොම්නසට කරුණු වූ රූපය විචාර කෙරෙයි. දොම්නසට කරුණු වූ රූපය විචාර කෙරෙයි. උපේක්ෂාවට කරුණු වූ රූපය විචාර කෙරෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස ස්පර්ශ කොට ... සිතින් දහම් දැන සොම්නසට කරුණු වූ දහම විචාර කෙරෙයි. දොම්නසට කරුණු වූ දහම විචාර කෙරෙයි. උපේක්ෂාවට කරුණු වූ දහම විචාර කෙරෙයි. මෙසේ සෝමනස්සුපවිචාරයෝ සදෙනෙක, දෝමනස්සුපවිචාරයෝ සදෙනෙක, උපෙක්ඛුපවිචාරයෝ සදෙනෙක. ‘මහණ, මේ පුරුෂ අටළොස් මනෝපවිචාරමාත්රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල පිණිස කියන ලදි.
‘මහණ, මේ පුරුෂ චතුරධිෂ්ඨානමාත්රයෙකැ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද, තෙල කුමක් පිණිස කියන ලද යැ යත්: ප්රඥාධිෂ්ඨාන යැ සත්යාධිෂ්ඨාන යැ ත්යාගාධිෂ්ඨාන යැ උපශමාධිෂ්ඨාන යි. ‘මහණ, මේ පුරුෂ චතුරධිෂ්ඨානමාත්රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මෙය තෙල පිණිස කියන ලදි.