3. 4. 11.
සච්චවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර මිගදාය නම් ඉසිපතනාරාමයෙහි වැඩ වාස කරනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා මහණුන් ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතන නම් මුවළැව්හි දී මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොවැ කිසිවක්හු විසින් වේවයි, නො පැවැත්විය හෙන අනුත්තර ධර්‍මචක්‍රය පවත්වනලද, එ කිසෙ යැ යත්: චතුරාර්‍ය්‍යසත්‍යයන් පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභාගය පළට කිරීම යි. කවර සතර දෙනකුන්ගෙන් යැ යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතන නම් මුවළැව්හි දී මහණකු වේවයි, බමුණකු වේවයි, දෙවියකු වේවයි, මරකු වේවයි, බඹකු වේවයි, ලොවැ කිසිවක්හු විසින් වේවයි, නො පැවැත්විය හෙන අනුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලද. මේ චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය ප්‍රකට කිරීම යි.
මහණෙනි, සැරියුත්මුගලන් දෙදෙන සේවනය කරව. මහණෙනි, සැරියුත්මුගලන් දෙදෙන භජනය කරව, ඒ භික්‍ෂූහු දෙදෙන පණ්‍ඩිතයහ, සබ්‍රහ්මචාරීනට අනුග්‍රාහකයෝ යි. මහණෙනි, ශාරීපුත්‍රයෝ විජාතමාතෘ සදෘශයහ. මහණෙනි, මෞද්ගල්‍යායනයෝ පෝෂක උපමාතෘ සදෘශයහ. මහණෙනි, ශාරිපුත්‍රයෝ සෝවන්පෙළෙහි විනයන කෙරෙති, මෞද්ගල්‍යායනයෝ උත්තමාර්‍ත්‍ථ වූ අර්‍හත්‍වයෙහි පිහිටුවති. මහණෙනි, ශාරීපුත්‍රයෝ චතුරාර්‍ය්‍යසත්‍යයන් විස්තර විසින් පවසන්නට පනවන්නට පිහිටුවන්නට විවරණ කරන්නට විභාග කරන්නට ප්‍රකට කරන්නට ප්‍රභූ වෙති’ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. සුගතයන් වහන්සේ මේ වදාරා හුනස්නෙන් නැඟී විහාරයට වැඩියෝ.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වඩනා හා ම ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල සච්චවිභඞග සුතත් වදාළෝ.
ඇවැත්නි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතන නම් මුවළැව්හි දී මහණකු වේවයි, දෙවියකු වේවයි, මරකු වේවයි, බඹකු වේවයි, ලොවැ කිසිවක්හු විසින් හෝ නො පැවැත්විය හෙන අනුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලද. ඒ කිසෙ යැ යත්: චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණය යි. කවර සතර දෙනකුන්ගේ යැ යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උක්තානීකරණය යැ, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යි.
ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ: ජාතිය ද දුක් යැ, ජරාව ද දුකැ, මරණ ද දුකැ, ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය - උපායාසයෝ ද දුක්හ. රිසි යමක් නො ලබා නම් ඒ ද දුකයැ, සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුක්හ.
ඇවැත්නි, ජාති කවර යැ: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍ව නිකායයෙහි යම් (අපරිපූර්‍ණායතන වශයෙන්) ඉපැත්මෙක් (පරිපුර්‍ණායතන වශයෙන්) මොනොවට ඉපැත්මෙක් (අණ්ඩජ ජලාබුජ වශයෙන්) අවක්‍රාන්තියෙක් (සංසේදජ උපපාදුක වශයෙන්) ඉපැත්මෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද ඇවැත්නි, මේ ‘ජාති’ යයි කියනු ලැබේ.
ඇවැත්නි, ජරා කවර: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් දිරීමෙක් දිරන අයුරෙක්, කැඩුණු බවෙක්, පලිත ඇති බවෙක්, ඇඟ රැලි වැටුණු බවෙක්, ආයු පිරිහීමෙක් ඉඳුරන් පැසීමෙක් වේ ද, ඇවැත්නි, මේ ‘ජරා’ යයි කියනු ලැබේ.
ඇවැත්නි, මරණ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙන් යම් ච්‍යුතියෙක් වචනාකාරයෙක් බිදිමෙක් අතුරුදහනෙක් මෘත්‍යු සංඛ්‍යාත මරණයෙක් කාලක්‍රියායෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් ශරීරයාගේ නික්‍ෂේපයෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ උපචේඡදයෙක් වේ ද, ඇවැත්නි, මේ ‘මරණ’ යයි කියනුලැබේ.
ඇවැත්නි, ‘ශෝක’ කවරෙ යත්: ඇවැත්නි, අන්‍යතර අන්‍යතර ව්‍යසනයෙකින් සමන්‍වාගතවූ අන්‍යතර අන්‍යතර දුඃඛයෙකින් පහරනලද්දහුගේ යම් ශෝකයෙක් ශොචනායෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් අභ්‍යන්තර පරිශොකයෙක් වේ ද ඇවැත්නි, මේ ‘ශෝක’ යයි කියනු ලැබේ.
ඇවැත්නි, පරිදේව කවරෙ යැ යත්: ඇවැත්නි, අන්‍යතර අන්‍යතර ව්‍යසනයෙකින් සමන්‍වාගතවූ අන්‍යතර අන්‍යතර දුඃඛයෙකින් පහරන ලද්දහුගේ නම්ගොත් දක්වමින් හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම් කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම්ගොත් කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වේ ද ඇවැත්නි, මේ ‘පරිදේව’ යයි කියනු ලැබේ.
ඇවැත්නි, දුඃඛ කවරෙ යැ යත්: ඇවැත්නි, යම් කායික දුඃඛයෙක් කායික අමධුරයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් දුකෙක් නො මිහිරෙක් වේදනායෙක් වේ ද, ඇවැත්නි, මේ ‘දුඃඛ’ යයි කියනුලැබේ.
ඇවැත්නි, දෞර්‍මනස්‍ය කවරෙ යැ යත්: ඇවැත්නි, යම් චෛතසික දුඃඛයෙක් චෛතසික අමධුරයෙක් මනෝසම්ඵස්සයෙන් හටගත් දුඃඛවේදනායෙක් අමධුර වේදනා යෙක් ඇද්ද? ඇවැත්නි, මේ දෞර්‍මනස්‍ය යයි කියනු ලැබේ.