3. 4. 12.
දක්ඛිණාවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාස කරන සේක. එකල ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි අළුත් පිළී සඟළක් ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියෝ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්හ. එකත්පස්වැ හුන් ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ:
වහන්ස, මා සතු මේ අළුත් පිළීසඟළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින් මැ නූල් කැට වියන ලද. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ පිළීසඟළ අනුකම්පා පිණිස පිළිගන්නාසේක්වා. මෙසේ කී කළ භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළසේක. ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි. දෙවනවට ද ගොයුම්ගොත් මහාප්‍රජාපතී දේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකොළෝ. වහන්ස, මා සතු මේ පිළීසඟළ ... අනුකම්පා පිණිස පිළිගන්නේ මැනැව. දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළසේක. ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි. තුන්වනවට ද ගොයුම්ගොත් මහාප්‍රජාපතී දේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ: වහන්ස, මා සතු මේ පිළීසඟළ ... අනුකම්පා පිණිස පිළිගන්නේ මැනැවැ යි. තුන්වනවට ද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළහ: ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි.” කියා යි.
මෙසේ වදාළ කල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගොයුම්ගොත් මහාප්‍රජාපතී දෙවියගේ අළුත් පිළීසඟළ පිළිගන්නේ මැනැවැ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇතියහ, කුඩාමව වූහ, අත්පා වැඩූහ, පොෂණය කළහ, කිරි දුන්හු යයි. වැදූ මව කලුරිය කළ කල භාග්‍යවතුන් වහන්සේට කිරි පෙවූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ද ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවිය ට බොහෝ උපකාර ඇතියහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලදින් ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි බුදුන් සරණ ගිය, දහම් සරණ ගියහ, සඟුන් සරණ ගියහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේ ලදින් පණිවායෙන් දුරු වූහ. අයිනාදනින් දුරු වූහ. කාමයෙහි මිසහසරින් දුරු වූහ. මුසවායෙන් දුරු වූහ. මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතී දෙවි භාග්‍යවතුන් වහන්සේ ලදින් බුද්ධරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගතයහ, ධර්‍මරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගතයහ, සඞ්ඝරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය කාන්ත ශීලයෙන් සමන්‍වාගතයහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේ ලදින් දුඃඛසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛනිරෝධගාමී ප්‍රතිපදා සත්‍යයෙහි නිසැක වූහ. වහන්සේ, (මෙසේ) භාග්‍යවතුන් වහන්සේ ද ගෞතමගෝත්‍ර මහාප්‍රජාපතීදේවියට බොහෝ වහල් වූහ යි.
ආනන්‍දය, තෙල එසේ යැ, ආනන්‍දය, තෙල එසේ යැ, ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් උපකාර සඞ්ඛ්‍යාත මනා ප්‍රතික්‍රියා නො කටහැකි යයි කියමි. කිමෙකින යත්: අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරීක්‍ෂාකාර යන මේ දීමෙන.
ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් පණිවායෙන් දුරු වූයේ වේ ද, අයිනාදනින් දුරු වූයේ වේ ද, කාමයෙහි මිසහසරින් දුරු වූයේ වේ ද, මුසවායෙන් දුරු වූයේ වේ ද, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර නො කට හැකි යයි කියමි. කෙමෙකින යත්: අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරීක්‍ෂාකාර දීමෙන.
ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වේ ද, ධර්‍මය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වේ ද, සඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වේ ද, ආර්‍ය්‍ය කාන්ත ශීලයෙන් සමන්‍වාගත වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් සුප්‍රතිකාර නො කට හැකි යයි කියමි. කෙමෙකින යත්: අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරීක්‍ෂාකාර දීමෙන.
ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් දුඃඛසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛනිරෝධගාමීප්‍රතිපදාසත්‍යයෙහි නිසැක වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර නො කට හැකි යයි කියමි. වැඳීම හුනස්නෙන් නැඟීම ඇඳිලි බැඳීම සාමීචිකර්‍ම සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දීම යන මෙයිනැ’ යි.
ආනන්‍දය, වෙන වෙන පුඟුලා කෙරෙහි පිහිටි මේ දක්‍ෂිණාවෝ තුදුස්දෙනෙකි. කවර තුදුස්දෙනෙක යත්: අර්‍හත් තථාගත සම්‍යක්සම්බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ පළමු වන පෞද්ගලික දක්‍ෂිණා යැ. ප්‍රත්‍යෙක බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ දෙවන පෞද්ගලික දක්‍ෂිණා යැ. අර්‍හත් තථාගතශ්‍රාවකයා විෂයෙහි දන් දෙයි, මේ තුන් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. රහත්පල පසක් කරන්නට පිළිපන් ශ්‍රාවකයා විෂයෙහි දන් දෙයි, මේ සිව් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. අනාගාමීහට දන් දෙයි, මේ පස්වන පෞද්ගලික දක්‍ෂිණා යැ. අනාගාමීඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ සවන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෙදගැමිහට දන් දෙයි, මේ සත්වන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ අටවන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෝවන්හු කෙරෙහි දන් දෙයි, මේ නව වන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෝවත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ දසවන පෞද්ගලික දක්‍ෂිණා යැ. කාමයෙහි වීතරාග වූ බාහිරක තාපසයා කෙරෙහි දන් දෙයි, මේ එකොළොස්වන පෞද්ගලික දක්‍ෂිණා යැ. පුහුදුන් සිල්වත්හු කෙරෙහි දන් දෙයි, මේ දොළොස් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. පුහුදුන් දුසිල්හු කෙරෙහි දන් දෙයි, මේ තෙළෙස් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. තිරිසන් ගියහු කෙරෙහි දන් දෙයි, මේ තුදුස් වන පෞද්ගලික දක්‍ෂිණා යි.