3. 4. 8.
උද්දේසවිභඞ්ග සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක. එකල භාග්යවතුන් වහන්සේ මහණෙනි’යි භික්ෂූන් අඬගාවදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවත්හු තෙල උද්දේසවිභඞ්ගය වදාළ සේක.
මහණෙනි, තොපට උද්දේස හා විභඞ්ග හා දෙසමි. එය අසව, මොනවට මෙනෙහි කරව. කියමි’යි වදාළහ.
එසේ යැ වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. බුදුහු තෙල වදාළහ:
යම් යම් පරිදි තුලනා කරන ඒ මහණහට බැහැර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචර අධ්යාත්මයෙහි නො පිහිටියේ උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නො කරන්නේ ද එපරිද්දෙන් මහණ තුලනා කරන්නේ යැ. මහණෙනි, බාහිර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසිරුණු කල්හි ගෝචරාධ්යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණාපරිතස්සනා නො කරන්නාහට මත්තෙහි ජාතිජරාමරණ හා සෙසු දුක්ඛසමුදයාගේ සම්භවයෙක් නො වේ යයි භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ නික්මගිය නොබෝ කල්හි ඒ වහන්දෑට තෙල සිත විය: ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විස්තර විසින් අර්ත්ථවිභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිසේක. යම් යම් පරිද්දෙකින් විමසනුවහට බාහිර අරමුණෙහි විඥානය අවික්ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචරාධ්යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටියේ උපාදාන නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නේ ද මහණ ඒ ඒ පරිද්දෙන් තුලනය කරන්නේ යැ. මහණෙනි, බාහ්යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසුරුණු කල්හි ගෝචරාධ්යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නහුට මතුයෙහි ජාතිජරාමරණයාගේ ද අවශේෂ දුඃඛයාගේ ද සම්භවයෙක් නො වේ යයි. භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරාර්ත්ථ විභාග නො කළ මේ උද්දේසයාගේ විස්තරාර්ත්ථය කවරෙක් විභාග කරන්නේ දෝහෝ’යි.
ඉක්බිති ඒ වහන්දෑට තෙල සිත විය: මේ ආයුෂ්මත් මහකසයින් තෙරණුවෝ බුදුන් විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහකසයින් තෙරණුවෝ භාග්යවතුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ත්ථ විභාග නොකළ මේ උද්දේසයාගේ විස්තර විසින් අර්ත්ථය විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් මහකසයින් තෙරණුවන් කරා එළඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහකසයින් තෙරුන් අතින් තෙල අර්ත්ථය පුළුවුස්නමෝ නම් මැනැවැ’යි. ඉක්බිති ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරුන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් මහකසයින් තෙරුන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරණුවනට තෙල සැලකළහු:
ඇවැත් කසයින් තෙරණුවෙනි, භාග්යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විස්තර විසින් අර්ත්ථ විභාග නො කොට විහාරයට පිවිසියහ. මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනය කරනුවහට බාහිර ආලම්බනයෙහි අවික්ෂිප්ත වැ නො විසිරැ විඥානය ගෝචරාධ්යාත්මයෙහි නො පිහිටියේ උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නේ ද මහණ ඒ ඒ පරිද්දෙන් තුලනය කරන්නේ යැ. මහණෙනි, වාහ්යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත කල්හි අවිඍෂ්ට කල්හි ගෝචරාධ්යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නොසැලෙන්නහුට මත්තෙහි ජාතිජරාමරණයාගේ හා ශේෂ දුඃඛ සමුදයාගේ සම්භවය නො වේ යයි. ආයුෂ්මත් කසයින් තෙරණුවෙනි, භාග්යවතුන් වහන්සේ නික්මගිය නොබෝ කාලයෙහි ඒ අපට තෙල සිත විය:
ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තර විසින් අර්ත්ථ විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක. මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනය කරන ඔහුට වාහ්යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත අවිඍෂ්ට වූයේ ගෝචරාධ්යාත්මයෙහි නො පිහිටියේ උපාදානය නො කොට තෘෂ්ණාපරිතස්සනායෙන් නො සැලේ ද, ඒ ඒ පරිද්දෙන් මහණ තුලනය කරන්නේ යැ. මහණෙනි, වාහ්යාලම්බනයෙහි විඥානය අවික්ෂිප්ත කල්හි නො විසිරැ සිටි කල්හි ගෝචරාධ්යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටි කල්හි උපාදානය නො කොට නිකාන්ති වශයෙන් තණ්හා පරිතස්සනායෙන් නො සැලෙන්නහුට මත්තෙහි ජාති ජරාමරණයාගේ ද දුඃඛසමුදයාගේ ද සම්භවය නො වේ යයි. භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අර්ත්ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්ත්ථය කවරෙක් විස්තර විසින් විභාග කරන්නේ දෝ හො’ යි.
ඇවැත්නි, කාත්යායනයෙනි, ඒ අපට තෙල සිත විය: ‘මේ ආයුෂ්මත් මහා කාත්යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්යායනයෝ භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ත්ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්ත්ථය විස්තරයෙන් විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් කාත්යායන තෙරණුවන් කරා එළැඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහාකාත්යායන තෙරණුවන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් යෙහෙකැ’ යි කියායි, ආයුෂ්මත් මහා කාත්යායනයෝ (එය) විභාග කෙරෙත්ව’යි.
ඇවැත්නි, යම් පරිදි හරයෙන් ප්රයෝජන ඇති හරය සොයන පුරුෂයෙක් හර පර්ය්යෙෂණ කරනුයේ ස්ථිර වැ සිටි සාරවත් වූ මහත් වෘක්ෂයක්හුගේ මුල ඉක්මවා මැ කඳ ඉක්මවා මැ පලාසයෙහි හර සෙවියයුතු කොට සිතා නම් මෙකරුණ එබඳු යැ. ආයුෂ්මත්නට ශාස්තෘන් වහන්සේ හමු වූ කල්හි ඒ භාග්යවතුන් ඉක්මවාපියා තෙල කරුණ අප අතින් පිළිවිස්සයුතු කොට සිතව, ඇවැත්නි, ඒ භාග්යවතුන් වහන්සේ වනාහි දතයුතු ඥේයධර්මය නුවණින් දනිති, දැක්කයුතු දැය නුවණැසින් දකිති, ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්මය වූහ, ශ්රේෂ්ඨ වූහ, ධර්මය පවසනුවහ, නන් අයුරින් පවසනුවහ, අර්ත්ථය එළවා දක්වනුවහ, අමෘතය දෙනුවහ. ධර්මස්වාමීහ, තථාගතයහ. යම් කරුණෙකින් භාග්යවතුන් වහන්සේ මැ තෙල අර්ත්ථය පුළුවුස්නවු නම්, මෙයට එ මැ කල්වෙයි. යම් පරිදි අපට භාග්යවතුන් වහන්සේ ප්රකාශ කරනසේක් නම් එසෙයින් එය ධරන්නහු යයි.