3. 4. 7.
සළායතනවිභඞ්ග සූත්රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවාස කරනසේක. එකල භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙල සූත්රය වදාළසේක:
‘මහණෙනි, තොපට ෂඩායතනවිභාගය දෙසමි. ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’ යි වදාළෝ.
‘වහන්ස, එසේ යැ’ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක.
සවැදෑරුම් ආධ්යාත්මික ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් ස්පර්ශකායයෝ දතයුත්තාහ. අටළොස් මනෝපවිචාරයෝ දතයුත්තාහ. සතිස් සත්ත්වපදයෝ දතයුත්තාහ. එහි ‘මෙය නිසා මෙය දුරු කරව’ යනු දතයුත්තේ යැ. ආර්ය්ය තෙමේ යම් සීවටනක් සෙවුනේ වේ ද, ආර්ය්ය තෙමේ යම් සීවටනක් සෙවුනේ ශාස්තෘ වී ගණානුශාසනාවට නිසි වේ ද, ඒ තුන් සීවටන්හු දතයුත්තාහ. හේ ‘ආචාර ශික්ෂණ කරන යොග්ගාචාරීන් අතුරින් අනුත්තර වූ “පුරුෂදම්යසාරථි” යයි කියනු ලැබේ, යනු දතයුත්තේ යැ. ෂඩායතනවිභාගයාගේ මේ උද්දේස යි.
‘සවැදෑරුම් අධ්යාත්මික ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද ද, තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: චක්ෂුරායතන යැ, ශ්රෝත්රායතන යැ, ඝ්රාණායතන යැ, ජිහ්වායතන යැ, කායායතන යැ, මනායතන යි. ‘සවැදෑරුම් අධ්යාත්මික ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
‘සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසක් කියන ලද ද, තෙල කුමක් පිණිස කියනලද යැ යත්: රූපායතන යැ, ශබ්දායතන යැ, ගන්ධායතන යැ, රසායතන යැ, ස්ප්රෂ්ටව්යායතන යැ, ධර්මායතන යි. ‘සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියන ලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසක් කියනලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: චක්ෂුර්විඥාන යැ, ශ්රෝත්රවිඥාන යැ, ඝ්රාණවිඥාන යැ, ජිව්හාවිඥාන යැ, කායවිඥාන යැ, මනෝවිඥාන යි. ‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියනලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
‘සවැදෑරුම් ස්පර්ශකයයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසෙක් කියනලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: චක්ෂුස්සංස්පර්ශ යැ, ශ්රෝත්රසංස්පර්ශ යැ, ඝ්රාණරසංස්පර්ශ යැ, ජිව්හාසංස්පර්ශ යැ, කායසංස්පර්ශ යැ, මනඃසංස්පර්ශ යි. ‘සවැදෑරුම් ස්පර්ශකයයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
‘අටළොස් මනෝපවිචාරයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසෙක් කියන ලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ඇසින් සෞමනස්යයට ප්රත්ය වූ රූප දැක රූපෝපවිචාර කෙරෙයි. දෞර්මනස්යයට ප්රත්යය වූ රූප දැක රූපෝපවිචාර කෙරෙයි. උපේක්ෂාවට ප්රත්යය වූ රූප දැක රූපෝපවිචාර කෙරෙයි. ශ්රෝත්රයෙන් ශබ්ද අසා … ඝ්රාණයෙන් ගන්ධාඝ්රාණ කොට … ජිහ්වායෙන් රස ආස්වාදය කොට … කයින් ස්ප්රෂ්ටව්ය ස්පර්ශ කොට … සිතින් සෞමනස්යයට ප්රත්යය වූ ධර්ම දැන ධර්මොපවිචාර කෙරෙයි. දෞර්මනස්යයට ප්රත්යය වූ ධර්ම දැන ධර්මොපවිචාර කෙරෙයි. උපේක්ෂාවට ප්රත්යය වූ ධර්ම දැන ධර්මොපවිචාර කෙරේ. මෙසේ මොහු ෂට් සෞමනස්යෝපචාරයෝ යැ ෂඩ් දෞර්මනස්යෝපචාරයෝ යැ, ෂඩ් උපේක්ෂෝපචාරයෝ යි. ‘අටළොස් මනෝපවිචාරයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියනලද ද, තෙල පිණිස කියන ලදී.
‘සතිස් සත්ත්වපදයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසෙක් කියන ලද ද, තෙල බස කුමක් පිණිස කියන ලද යැ යත්: ගෙහනිඃශ්රිත සෞමනස්යයෝ සදෙනෙක, නිෂ්කාමතා නිඃශ්රිත සෞමනස්යයෝ සදෙනෙක, ගෙහනිඃශ්රිත දෞර්මනස්යයෝ සදෙනෙක, නිෂ්කාමතා නිඃශ්රිත දෞර්මනස්යයෝ සදෙනෙක, ගෙහනිඃශ්රිත උපේක්ෂාවෝ සදෙනෙක, නිෂ්කාමතා නිඃශ්රිත උපේක්ෂාවෝ සදෙනෙක.
එහි ගෙහනිඃශ්රීත සෞමනස්යයෝ සදෙන කවරහ යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනෝරම වූ ලෝකාමිෂ ප්රතිසංයුක්ත වූ චක්ෂුර්විඥේය රූපප්රතිලාභය ප්රතිලාභවශයෙන් දක්නහුට හෝ ප්රතිලබ්ධ බැවින් අතීත වූ නිරුද්ධ වූ ප්රකෘති විජහනයෙන් විපරිණාම වූ පෙර ලැබූ විරූ රූපයක් හෝ දක්නහුට සෞමනස්යය උපදනේ ය, මෙබඳු යම් සෞමනස්යයෙක් ඇද්ද මේ ගෘහශ්රිත සෞමනස්ය යයි කියනු ලැබේ. ශ්රෝත්ර විඥේය ශබ්දප්රතිලාභය … ඝ්රාණවිඥේය ගන්ධප්රතිලාභ … ජිව්හාවිඥේය රසප්රතිලාභ … කායවිඥේය ස්ප්රෂ්ටව්යප්රතිලාභය … ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනෝරම වූ තෘෂ්ණා ප්රතිසංයුක්ත වූ මනෝවිඥේය ධර්මප්රතිලාභ වශයෙන් දක්නහුට හෝ අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ පෙර ලදවිරූ හෝ ධර්මයක් සිහි කරන්නහුට සෞමනස්යය උපදනේ ය. මෙබඳු යම් සෞමනස්යයෙක් ඇද්ද මේ ගෘහශ්රිත සෞමනස්ය යැයි කියනු ලැබේ. මොහු සවැදෑරුම් ගෘහශ්රිත සෞමනස්යයෝ යි.
එහි විදර්ශනා නිඃශ්රිත සෞමනස්යයෝ සදෙන කවරහ යත්: රූපයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධලක්ෂණ වූ අනිත්යාකාරය දැන පෙර වූ මැ රූපයෝ ඇද්ද ‘දැනුදු එහැම රූපයෝ අනිත්යයහ, දුඃඛයහ, විපරිණාමධර්මයහ’ යි මෙසේ තෙල යථාභූතය විදර්ශනා ප්රඥායෙන් දක්නහුට සෞමනස්යය උපදනේ යැ. මෙබඳු වූ යම් සෞමනස්යයෙක් වේ ද මෙය ‘විදර්ශනාශ්රිත සෞමනස්ය’ යයි කියනු ලැබේ. ශබ්දයන්ගේ මැ … ගන්ධයන්ගේ මැ … ස්පර්ෂ්ටව්යයන්ගේ මැ … ධර්මයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධ ලක්ෂණ වූ අනිත්යාකාරය දැන පෙර ද වූ මැ ධර්මයෝ ඇද්ද, දැනුදු රූපයෝ ඇද්ද, ‘එහැම ධර්මයෝ අනිත්යයහ, දුඃඛයහ, විපරිණාමධර්මයහ’ යි මෙසේ තෙල යථාභූතය සම්යක්ප්රඥායෙන් දක්නහුට සෞමනස්යය උපදනේ යැ. මෙබඳු වූ යම් සෞමනස්යයෙක් වේ ද මේ විදර්ශනාශ්රිත ‘සෞමනස්ය’ යැයි කියනු ලැබේ. මොහු සදෙන ‘විදර්ශනාශ්රිත සෞමනස්යයෝ’ වෙති.