3. 4. 6.
මහාකම්මවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසනසේක. එසමයෙහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ වනකිළියෙක්හි වෙසෙති.
එකල්හි පෝතලිපුත්‍ර පරිව්‍රාජක ජඞ්ගාවිහරණයෙන් ඔබ මොබ හැසිරෙනුයේ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කළ යුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පෝතලිපුත්‍ර පරිව්‍රාජක ආයුෂ්මත් සමිද්ධි තෙරණුවනට තෙල කී: “ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෙනි, ශ්‍රමණ ගෞතමයන් හමුයෙහි මා විසින් තෙල අසනලද, හමුයෙහි පිළිගන්නා ලද: කායකර්‍ම සිස්යැ, වාක්කර්‍මය සිස් යැ, මනඃකර්‍මය මැ තථ යැ යි. තවද යම් සමවතකට සමවන්නේ කිසි වේදනාවක් නො විඳී ද, එබඳු සමවතක් ඇතැ’ යි කියා” යි.
ඇවත් පෝතලිපුත්‍රය, නහමක් මෙසේ කීය. ඇවැත් පෝතලිපුත්‍රය, නහමක් මෙසේ කිය. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නහමක් කර. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො මැ වදාරන්නාහ: ‘කායකර්‍මය තුච්ඡ යැ, වාක්කර්‍මය තුච්ඡ යැ, මනඃකර්‍මය මැ සැබැවැ’ යි. ඇවැත්නි, යම් සමවතකට සමවන්නේ කිසි වේදනාවක් නො විඳී ද, එබඳු සමවතෙක් ඇත්තේ වේ යයි.
ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, පැවිදි වැ කෙතෙක් දිගු කල් ඇද්ද?
ඇවැත්නි, බොහෝ කල් නො වෙයි. තුන් වසක් වේ යයි.
යම් කරුණෙක්හි මෙසේ නවක මහණ ශාස්තෘහු (ගර්‍හායෙන් මිදීමෙන්) රැක්කයුතු කොට සිතී නම් ස්ථවිර භික්‍ෂූන් ගෙන දැන් මෙහිලා අපි කුමක් කියමෝ ද? ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ කවර වේදානාව විඳී දැ? යි.
ඇවත් පෝතලිපුත්‍රය, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ දුඃඛවේදනා විඳී යයි.
එසඳ පෝතලිපුත්‍ර පරිව්‍රාජක ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ භාෂිතය නොමැ පිළිගත, බැහැර නො කෙළේ යැ. නො පිළිගෙන බැහැර නො කොට හුනස්නෙන් නැඟී ගියේ.
ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ පෝතලිපුත්‍ර පරිව්‍රාජක නික්මගිය නොබෝ වේලෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් කරා එළඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු විය. සතුටුවිය යුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී නම් එහැම ආයුෂ්මත් අනඳ තෙරණුවනට දැන්වූහ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවනට දැන්වූහ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවනට තෙල වදාළහ: “ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ දක්නට මේ කථාප්‍රාහෘතයෙක් (පඬුරෙක්) ඇත. ඇවැත්නි සමිද්ධි තෙරණුවෙනි, යම්හ. භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකරම්හ. භාග්‍යවතුන් වහන්සේ යම්සේ අපට ප්‍රකාශ කරනසේක් නම් එය එසේ ධරම්හ” යි.
‘එසේ යැ ඇවැත්නි’යි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදන කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෝතලි පුත්‍ර පරිව්‍රාජකයා සමග ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ යම් පමණ කථා සල්ලාපයෙක් වී ද එහැම භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල වදාළහ: “ආනන්‍දය, මම පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාගේ දැක්මකුදු නො දනිමි. මෙබඳු කථාසල්ලාපයෙක් වැළිත් කොයින් වී ද. තවද ආනන්‍දය, සමිද්ධි මෝඝපුරුෂයා විසින් පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට බෙදා ප්‍රකාශ කළයුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් විසඳනලදැ” යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ඉදින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් විසින් යම් කිසි වේදනාවක් ඇද්ද එය ‘දුක’ යි යන මේ සඳහා කියනලද ද?
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් ඇමතූසේක. ‘ආනන්‍දය, තෙපි මේ උදායී මෝඝපුරුෂයාගේ ප්‍රඥා-උන්මාර්‍ගය බලව. ආනන්‍දය මම් මේ උදායී මෝඝපුරුෂ මෙවිට මැ හිස නඟනුයේ නුනුවණින් හිස නඟා’ යයි දතිමි. ආනන්‍දය, පෝතලිපුත්‍ර පරිව්‍රාජකයා විසින් ආදියෙහි ම ත්‍රිවිධ වේදනාව පුළුවුස්නා ලද. ආනන්‍දය, ඉදින් මේ සමිද්ධි මෝඝපුරුෂ මෙසේ පුළුවුස්නාලදුයේ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට මෙසේ ප්‍රකාශ කෙළේ නම් ‘ඇවැත, පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන සුඛවේදනීය කර්‍මය කොට හේ සුව විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන දුඃඛවේදනීය කර්‍මය කොට හේ දුක් විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන අදුඃඛමසුඛවේදනිය කර්‍මය කොට හේ උපේක්‍ෂා වේදනාව විඳී’ යයි. ආනන්‍දය, මෙසේ විසඳන සමිද්ධි මෝඝපුරුෂ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාට මොනොවට ප්‍රකාශ කරන්නේ යැ. තවද ආනන්‍දය, බාල වූ අව්‍යක්ත වූ අන්‍ය තීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ කවරහු ද? තථාගතයන්ගේ මහාකර්‍මවිභඞ්ගය කවරහු දතහෙත් ද? ඉදින් ආනන්‍දය තෙපි මහාකර්‍මවිභඞ්ගය විභාග කරන තථාගතයන්ගේ (දේශනාධර්‍මය) අසන්නහු (නම් මැනැවැ).
භාග්‍යවතුන් වහන්ස, තෙල විභාගයට කල් වෙයි. සුගතයන් වහන්ස, තෙල විභාගයට කල් වෙයි. යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ මහාකර්‍මවිභඞ්ගය විභාග කරනසේක් නම් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසා ධරන්නාහ’ යි.
ආනන්‍දය, එසේ වී නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.
‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල (මහාකර්‍මවිභඞ්ගය) වදාළසේක.
ආනන්‍දය, ලෝකයෙහි විද්‍යමාන වූ මේ පුද්හලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්: ආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව පණිවා කරනු වෙයි, අයිනාදන් ගනු වෙයි, කාමයෙහි මිසහසර ඇති වෙයි, මුසවා බණනු වෙයි, පිසුනුබස් ඇති වෙයි, පරොස්බස් ඇති වෙයි, පලප් බණනු වෙයි, අභිධ්‍යා බහුල වෙයි, ව්‍යාපන්න චිත්ත වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කායභේදයෙන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට වදියි.