3. 4. 5.
චූළකම්මවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසනසේක. එසඳ තෝදෙය්‍ය බමුණුපුත් සුභ නම් මාණවක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය සාරාණීය කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් තෝදෙය්‍ය බමුණුපිත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ සැල කෙළේ යැ.
භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙයි. ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ: භවත් ගෞතමයන් වහන්ස, අල්පායුෂ්ක මනුෂ්‍යයෝ දක්නා ලැබෙත් මැ යැ, දීර්‍ඝායුෂ්කයෝ දක්නා ලැබෙති. බොහෝ ආබාධ ඇත්තාහු දක්නා ලැබෙති, අල්පාබාධයෝ දක්නා ලැබෙති. දුර්වර්‍ණයෝ දක්නා ලැබෙති, වර්‍ණවත් වූවාහු දක්නා ලැබෙති. අල්පයශස්කයෝ දක්නා ලැබෙති, මහායශස්කයෝ දක්නා ලැබෙති. අල්පභෝග ඇත්තාහු දක්නා ලැබෙති, මහාභෝග ඇත්තාහු දක්නා ලැබෙති. නීචකුලීනයෝ දක්නා ලැබෙති, උච්චාකුලීනයෝ දක්නා ලැබෙති. දුෂ්ප්‍රාඥයෝ දක්නා ලැබෙති, ප්‍රඥාවත් වූවාහු දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙත් ද ඊට හේතු කවරේ ද ප්‍රත්‍ය කවරේ දැ? යි.
මාණවකය, සත්ත්‍වයෝ කර්‍මය ස්වකීය කොට ඇත්තාහ, කර්‍මය දායාදය කොට ඇත්තාහ, කර්‍මය කාරණා කොට ඇත්තාහ, කර්‍මය බන්‍ධු කොට ඇත්තාහ, කර්‍මය පිළිසරණ කොට ඇත්තාහ. කර්‍මය මේ හීනප්‍රණීතභාවය පිණිස සත්ත්‍වයන් විභාග කෙරේ යයි වදාළහ.
භවත් ගෞතමයන් වහන්ස, මම භවත් ගෞතමයන් විසින් සැකෙවින් ප්‍රකාශ කළ විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ විස්තරාර්‍ත්‍ථය නො දතහෙමි. භවත් ගෞතමයන් වහන්සේ යම් පරිදි මම භවත් ගෞතමයන් විසින් සැකෙවින් වදාළ විස්තරාර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ විස්තරාර්‍ත්‍ථය දතහෙම් ද එපරිද්දෙන් මට ධර්‍මය දේශනා කෙරෙත්වා’ යි අයදිමි’ යි.
එසේ වී නම්, මාණවකය, අසව මොනොවට මෙනෙහි කරව, ප්‍රකාශ කරන්නෙමි’ යි වදාළහ.
‘එසේ යැ භවත්නි’ යි තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවතුන් වහන්සේ තෙල ‘චූළකම්මවිභඞ්ගය’ වදාළසේක.
මාණවකය, මෙලොව ඇතැම් ස්ත්‍රියක් වේවයි, පුරුෂයෙක් වේවයි, රෞද්‍ර වූ ලෙහෙ වැකුණු අත් ඇති සතුන් වැනැසීමෙහි යෙදුණේ සියලු සත්ත්‍වයන් කෙරෙහි නිෂ්කාරුණික බවට පැමිණියේ, ප්‍රාණවධ කරනසුලු වූයේ වේ ද, හේ මෙසේ රැස් කළ මෙසේ සමාදන් කළ ඒ කර්‍මය හේතු කොට ගෙන කාබුන් මරණින් මත්තෙහි සුවයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට ප්‍රතිසන්‍ධි විසින් පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මත්තෙහි අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට නො පැමිණේ ද ඉදින් මිනිස් බවට පැමිණේ නම් යම් යම් තැනෙක උපදනේ නම් අල්පායුෂ්ක වෙයි. මාණවකය, යම් ප්‍රාණවධ කරනසුලු බවෙක් වේ ද, රෞද්‍ර වූයේ ලෙහෙ වැකුණු අත් ඇතියේ, ප්‍රාණවධයෙහි යෙදුණේ සියලු ප්‍රාණීන් කෙරෙහි නිෂ්කාරුණික වූයේ වේ ද, මේ ප්‍රතිපදාව අල්පායුෂ්කභාවය පිණිස පවත්නේ වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ප්‍රාණවධ හැරපියා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. බහාතැබූ දඬුවම් ඇතියේ බහාතැබූ ශස්ත්‍ර ඇතියේ (අකුශලයෙහි) ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී වැ වෙසේ ද, හේ මෙසේ සම්පූර්‍ණ කරනලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි සෝභනගති ඇති සුවයෙන් අග්‍ර වූ ලෝකයට (පිළිසිඳ විසින්) පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතුයෙහි සුගති ස්වර්‍ගලෝකයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට පැමිණේ නම් යම් යම් තැනෙක උපදනේ නම් දීර්‍ඝායුෂ්ක වෙයි. මාණවකය, ප්‍රාණවධ හැරපියා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, බහා තැබූ දඬුවම් ඇති වැ බහා තැබූ ශස්ත්‍ර ඇති වැ ලජ්ජා ඇති වැ දයාවට පැමිණ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී වැ වාසය කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දීර්‍ඝායුෂ්ක බව පිණිස පවත්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්නට වෙහෙස කරන පියවි ඇති වේ ද, හේ මෙසේ සුපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට ඉදින් නො පැමිණේ නම්, මිනිස් බවට ඉදින් ඒ නම් යම් යම් තැනෙක උපදනේ නම්, බොහෝ ආබාධ ඇතියේ වෙයි. මාණවකය, අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්‍වයන් වෙහෙසන පියවි ඇති වෙයි යන යමක් ඇත්ද, තෙල ප්‍රතිපදාව බොහෝ ආබාධ බව පිණිස පවත්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්‍වයනට වෙහෙස නො කරන පියවි ඇත්තේ වේ ද? හේ මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට (පිළිසිඳ විසින්) පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම් යම් යම් තැනෙක උපදනේ ද අල්පාබාධ වෙයි. මාණවකය, අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්‍වයන් නො වෙහෙසන පියවි ඇති වෙයි යන යමක් ඇත් ද, තෙල ප්‍රතිපදාව බොහෝ අල්පාබාධ බව පිණිස පවත්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් කිපෙන සුලු වූයේ දැඩි ආයාස බහුලකොට ඇත්තේ වේ ද, මඳ බසකුදු කියන ලදුයේ (කෝපයෙන්) ගැටේ ද කිපේ ද විරෝධයට පැමිණේ ද තද බවට පැමිණේ ද කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ ද, ඒ පුද්ගල මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම්, යම් යම් තැනෙක උපදනේ ද දුර්වර්‍ණ වූයේ වෙයි. මාණවකය, ක්‍රෝධ කරනසුලු වූයේ උපායාස බහුල කොට ඇතියේ මඳ බසකුදු කියන ලදුයේ (කෝපයෙන්) ගැටෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, තද බවට පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දුර්වර්‍ණ බවට වැටෙන්නී වේ.