3. 4. 4.
ලෝමසකඞ්ගිය භද්දේකරත්ත සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර අනේවඩු මහසිටුගේ දෙව්රම් වෙහෙර වැඩ වාස කරන සේක. එකල ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ ශාක්යජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්රෝධාරාමයෙහි විහරණ කෙරෙති. එසඳ චන්දන දේවපුත්ර මධ්යම රාත්රියෙහි විශිෂ්ට ඡවිවර්ණ ඇති වැ සියලු නිග්රෝධාරාමය බබුළුවා ලෝමසකඞ්ගිය තෙරණුවන් කරා එළැඹියේ යි. එළඹ එකත්පස් වැ සිටියේ. එකත්පස් වැ සිටි චන්දන දෙව්පුත් ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවනට තෙල කී.
මහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරව? යි.
ඇවත, මම භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි.
ඇවැත්නි, තෙපි වනාහි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරවු යැ?
මහණ, මමත් භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි.
මහණ, තෙපි භද්දේකරත්ති ගාථා ධරව?
ඇවැත්නි, මම භද්දේකරත්ති ගාථා නො ධරමි.
ඇවත, තෙපි භද්දේකරත්ති ගාථා ධරවු යැ?
මහණ, මම භද්දේකරත්ති ගාථා ධරමි.
ඇවැත්නි, තෙපි කෙසෙයින් භද්දේකරත්ති ගාථා ධරන්නාව?
මහණ, එක් කලෙක භාග්යවතුන් වහන්සේ තව්තිසාවැසි දෙවියන් කෙරෙහි වූ පරසතු මුල පඬුඇඹුල්සලස්නෙහි වැඩවාස කරනසේක. එකල භාග්යවතුන්වහන්සේ තව්තිසා වැසි දෙවියනට භදේදකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසූසේක.
අතීතය අනුගමනය නො කරන්නේ යැ, අනාගතය තෘෂ්ණාදෘෂ්ටින් නො ඉස්නේ යැ, යමෙක් ඉක්මිණි ද ඒ පුහුන් වෙයි. යමෙක් නො පැමිණි ද ඒ නො එළඹියේ වෙයි.
යමෙක් ප්රත්යුත්පන්න වූ ධර්මය ඒ ඒ තැන අනිත්යාදි විසින් විදර්ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්ය වූ ඒ විදර්ශනාව වඩන්නේ යැ.
අද මැ ආතාපනවීර්ය්යය කර්තව්ය වෙයි. ‘සෙට යැ මරණ ය’යි කවරෙක් දන්නේ යැ, මහසෙන් ඇති මරහු හා මිත්රසංස්තවාදිසංගරයෙක් (ගිවිසුමෙක්) නැත්හු!
මෙවන් විහරණ ඇති කෙලෙස් තවන වැර ඇති දවරෑ තන්ද්රා නැති ඒ යොගාවචරයා ශාන්ත වූ ‘භද්රෛකරාත්ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි වදාරයි.
මහණ, මෙසෙයින් මම භද්දේකරත්ති ගාථා ධරමි. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා උගනුව. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා බසින් පුහුණු කරව. මහණ, භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා වාචනායෙන් ධරව. මහණ, භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්ත්ථසංහිත යැ මාර්ග බ්රහ්මචර්ය්යයට මුඛ ද වෙයි. චන්දන දෙව්පුත් මෙය කී. මෙය කියා අතුරුදහන් කෙළේ.
ඉක්බිති ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ එරැය ඇවෑමෙන් සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන සැවැත්නුවර කරා චාරිකා කළෝ. චාරිකා කරන්නේ සැවැත්නුවර අනේවඩු සිටුහුගේ දෙව්රම්වෙහෙර බුදුන් කරා ගියෝ, ගොස් භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළෝ:
වහන්ස, එක් කලෙක සැහැදනවියෙහි කිඹුල්වත නිග්රෝධාරාමයෙහි මම වාස කෙරෙමි. වහන්ස, එකල අන්යතර දේවපුත්රයෙක් මධ්යම රාත්රියෙහි විශිෂ්ට ඡවිවර්ණ ඇති වැ නිග්රෝධාරාමය හාත්පස බබුළුවා මා කරා එළැඹියේ. එළඹ එකත්පස් වැ සිටියේ. වහන්ස, එකත්පස් වැ සිටි ඒ දෙව්පුත් මට තෙල කී: ‘මහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරව යි? වහන්ස, මෙසේ කී කල මම ඒ දෙව්පුත්හට තෙල කීමි: ‘ඇවත මම භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි’ යි. ‘ඇවත, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරන්නාව’යි පිලිවිත්මි. ‘මහණ මමත් භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි’ යි කී. ‘මහණ තෙපි භද්දේකරත්ත ගාථා ධරන්නාව?’ කී, (පිළිවිත්). ‘ඇවැත්නි, මම භද්දේකරත්ති ගාථා නො ධරමි’ යි (කියා), ‘ඇවත, තෙපි භද්දේකරත්ති ගාථා ධරන්නාව?’ යි (පිළිවිත්මි). ‘මහණ මම භද්දේකරත්ති ගාථා ධරමි’ යි කී. ඇවැත්නි, තෙපි කිසෙයින් භද්දේකරත්ති ගාථා ධරව! යි ඇසීමි.
මහණ එක් කලෙක භාග්යවතුන් වහන්සේ තව්තිසා දෙවියන් කෙරෙහි වූ පරසතුමුල පඬුඇඹුල් සලස්නේහි විහාර කරනසේක. එකල භාග්යවතුන් වහන්සේ තව්තිසා දෙවියනට භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසූ සේක.
අතීතය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ‘භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි තෙමේ වදාරයි.
මහණ, මෙසෙයින් මම භද්දේකරත්ති ගාථා ධරමි. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අසා උගනුව. මහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා බසින් පුහුණු කරව. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්ත්ථ වාචනා වශයෙන් ධරව. මහණ භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්ත්ථ සංහිත යැ, ආදිබ්රහ්මචර්ය්යක ද වෙයි. වහන්ස, ඒ දෙව්පුත් මෙය කී, මෙය කියා එහි මැ අතුරුදහන් විහි. වහන්ස, යදිමි. භාග්යවතුන් වහන්සේ මට භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසන සේක්වා.
මහණ, තෝ එ දෙව්පුත් දන්නෙහි?
වහන්ස, මම එ දෙව්පුත් නො දන්මි.