3. 4. 3.
මහාකච්චාන භද්දේකරත්ත සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාවනයෙහි වැඩ වසන සේක. එකල සමිද්ධි තෙරණුවෝ රෑ අලුයම නැඟීසිට ගාත්රපරිෂේකයට තපෝද භ්රදය කරා එළැඹියහ. තපෝද භ්රදයෙහි ගාත්රපරිෂේක කොට නැඟී ශරීරාවයව වියළවමින් එක් සිවිරි වැ සිටියහ. එකල එක්තරා දෙව්දුවක් රැය ඉක්මැගිය කල්හි විශිෂ්ට ඡවිවර්ණ ඇත්තී මුළු තපෝද දහතලාව බබුළුවා සමිද්ධි තෙරණුවන් කරා එළැඹියා. එළැඹ එකත්පස් වැ සිටගතු. එකත් පස් වැ සිටි ඒ දෙව්දූ සමිද්ධි තෙරණුවනට තෙල කියූ:
මහණ, තෙපි භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරන්නාව?
ඇවත, මම භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.
ඇවත, තෙපි භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරන්නහු?
මහණ, මමත් භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.
මහණ, තෙපි භද්දෙකරත්තගාථා ධරව?
ඇවැත්නි, මම භද්දෙකරත්තගාථා ද නො ධරමි.
ඇවත, තෙපි භද්දෙකරත්තගාථා ධරහු?
මහණ, මම ද භද්දෙකරත්තගාථා නො ධරමි.
මහණ, තෙපි භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා උගනුව. මහණ, තෙපි භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා පුහුණු කරව, මහණ, තෙපි භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරව, මහණ, තෙපි භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා අර්ත්ථසංහිත යැ, මාර්ගබ්රහ්මචර්ය්යාවගේ ආදිභූත පූර්වභාගප්රතිපතැ.
ඒ දෙව්දූ මේ කියා එහි මැ අතුරුදහන් වූ. එසඳ සමිද්ධි තෙරණුවෝ එරැය ඇවෑමෙන් බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් සමිද්ධි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැලකළෝ. වහන්ස, මම රෑ අලුයම නැඟී තපෝදදහතල කරා ගාත්රපරිෂේකයට එළැඹියෙමි. තපෝදයෙහි ගාත්රපරිෂේක කොට නැඟී ගාත්රයන් වියළවමින් ඒකචීවර වැ සිටියෙමි. වහන්ස, එසඳ එක්තරා දෙව්දුවක් රැය ඉකුත් කල මනා සිවිපැහැ ඇති වැ මුළු තපොදය බබුළුවා මා කරා එළැඹියා, එළැඹ එකත්පස් වැ සිටගතු, එකත්පස් වැ සිටි ඒ දෙව්දූ මට තෙල කියු:
‘මහණ, තෙපි භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා ධරව?
වහන්ස, මෙසේ කීකල මම ඒ දෙව්දුවට තෙල කීමි: ඇවත, මම භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි’ යි.
ඇවත, තෙපි භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා ධරහු?
මහණ, මම ද භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.
මහණ, තෙපි භද්දේකරත්තගාථාවන් ධරව?
ඇවත, මම භද්දේකරත්තගාථාවන් නො ධරමි.
ඇවත, තෙපි භද්දේකරත්තගාථාවන් ධරහු?
මහණ, මම ද භද්දේකරත්තගාථාවන් නො ධරමි.
මහණ, තෙපි භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා උගනුව, මහණ, තෙපි භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා පුහුණු කරව, මහණ, තෙපි භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරව. මහණ, තෙපි භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා අර්ත්ථසංහිත යැ, මාර්ගබ්රහ්මර්ය්යයට පූර්වභාග ප්රතිපතැ යි.
වහන්ස, ඒ දෙව්දූ මේ කියු යැ, මේ කියා එහි මැ අතුරුදහන් වූ, මැනැව වහන්ස, මට භාග්යවතුන් වහන්සේ භද්රෛකරාත්ර මහණහුගේ උද්දේස හා විභාග හා දේසනා කරන සේක්ව’යි.
එසේ නම් මහණ, අස, මොනොවට මෙනෙහි කර’ යි වදාළහ.
එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් සමිද්ධි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. බුදුහු තෙල වදාළහ:
අතීත වූ (චක්ෂුරාදි ද්වාදශ) ආයතනධර්මය අනුගමනය නො කරන්නේ යැ, අනාගත වූ ආයතනධර්මය (තෘෂ්ණාදෘෂ්ටින්) නො පතන්නේ ය. යමක් අතීත ද එය ප්රහීණ යැ, යමක් අනාගත ද එය නො පැමිණියේ යි.
යමෙක් ප්රත්යුත්පන්න වූ ආයතනධර්මය අනිත්යාදි විසින් ඒ ඒ තැන්හි විදර්ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්ය වූ ඒ විදර්ශනාව වඩන්නේ යැ.
අද ම ආතාපන වීර්ය්යය කර්තව්ය යැ, සෙට මරණය ඇත යනු කවරෙක් දතහෙන්නේ ද, (ගිනි විෂ ආදි) මහත් සෙන්බල ඇත මරහු සමග (මිත්රසන්ථවාදි) සංගරයෙක් නැත් නු!
මෙබඳු විහරණ ඇති ආතාපන වීර්ය්ය ඇති අනලස්වූ පුඟුලා ‘භද්දේකරත්ත’ යැයි බුද්ධ මුනි ප්රකාශ කෙරේ යයි.
බුදුහු මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟීසිට විහාරයට පිවිසිසේක.
ඉක්බිති බුදුන් වඩනා හා මැ භික්ෂූන්ට තෙල සිත් වී: ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය වදාරා විස්තරයෙන් අර්ත්ථවිභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.