ආනන්‍දය, මේ සංඝගත දක්‍ෂිණාවෝ සත් දෙනෙකි: කවර සත් දෙනෙක යත්: බුද්ධප්‍රමුඛ උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ පළමු වන සංඝගත දක්‍ෂිණා යැ. තථාගතයන් වහන්සේ පිරිනිවී කල උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ දෙවන සංඝගත දක්‍ෂිණා යැ. භික්‍ෂුසංඝයා කෙරෙහි දන් දෙයි, මේ තුන් වන සංඝගත දක්‍ෂිණා යැ. භික්‍ෂුණීසංඝයා කෙරෙහි දන් දෙයි, මේ සතර වන සංඝගත දක්‍ෂිණා යැ. ‘මෙතෙක් මට භික්‍ෂුහු ද භික්‍ෂුණීහු ද සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ පස් වන සංඝගත දක්‍ෂිණා යැ. ‘මෙතෙක් මට භික්‍ෂුහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සවන සංඝගත දක්‍ෂිණා යැ. ‘මෙතෙක් මට භික්‍ෂුණීහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සත්වන සංඝගත දක්‍ෂිණා යැ.
ආනන්‍දය, අනාගතකාලයෙහි ගෝත්‍රභූ වූ දුශ්ශීල වූ පාපස්වභාව ඇති කාෂායකණ්ඨ කෙනෙක් වෙති. ඒ දුශ්ශීලයන් කෙරෙහි සඟුන් උදෙසා දන් දෙති. ආනන්‍දය, මම එකල්හිත් සංඝගත දක්‍ෂිණාව අසඞ්ඛෙය අප්‍රමේය අනුසස් ඇති’ යි කියමි. ආනන්‍දය, මම කවර අයුරෙකින් වුව ද සංඝගත දක්‍ෂිණායෙන් පෞද්ගලික දානය මහාඵලතර යයි නො කියමි.
ආනන්‍දය, මේ දක්‍ෂිණාවිශුද්ධීහු සතර දෙනෙකි, කවර සතර දෙනෙක යත්: ආනන්‍දය, ප්‍රතිග්‍රාහකයන් තබා දායකයා හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ගෙන විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා හේතු කොටත් ප්‍රතිග්‍රාහකයන් හේතු කොටත් විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත.
ආනන්‍දය, ප්‍රතිග්‍රාහකයා තබා දායකයන් හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණා කවර යත්: ආනන්‍දය, මෙහි දායකයා සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීල වෙති, පාපධර්‍මයෝ වෙති. ආනන්‍දය, මෙසෙයින් ප්‍රතිග්‍රාහකයන් තබා දායකයා හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත.
ආනන්‍දය, දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ගෙන විශුද්ධ වන දක්‍ෂිණා කවර? ආනන්‍දය, මෙහි දායක දුශ්ශීල වෙයි, පාපධර්‍ම වෙයි. ප්‍රතිග්‍රාහකයෝ සිල්වත් වෙති, කලණදහම් වෙති. ආනන්‍දය, මෙසේ දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත.
ආනන්‍දය, දායකයා හේතු කොට ද, ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ නො වන දක්‍ෂිණා කවර? ආනන්‍දය, මෙහි දායක ද දුශ්ශීල වෙයි, පාපධර්‍ම වෙති. ප්‍රතිග්‍රාහකයෝත් දුශ්ශීල වෙති, පාපධර්‍ම වෙති. ආනන්‍දය, මෙසේ දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇත.
ආනන්‍දය, දායකයා හේතු කොට ද, ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්‍ෂිණා කවර? ආනන්‍දය, මෙහි දායක ද සිල්වත් වෙයි, කලණදහම් වෙයි. ප්‍රතිග්‍රාහකයෝ ද සිල්වත් වෙති, කලණදහම් වෙති. ආනන්‍දය, මෙසේ දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, මේ දක්‍ෂිණාවිශුද්ධීහු සතරදෙන වෙති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත අන්‍යවූ තෙල ගාථා ද වදාළෝ:
සිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් දුශ්ශීලයන් විෂයෙහි දන් දේ ද, ඒ දක්‍ෂිණා ව දායකයා කෙරෙන් පිරිසිදු වෙයි.
දුශ්ශීල වූ යමෙක් අධර්‍මයෙන් ලැබ නො පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල නො අදහනුයේ සිල්වතුන් විෂයෙහි දන් දේ ද, ඒ දක්‍ෂිණාව පිළිගාවා කෙරෙන් විශුද්ධ වෙයි.
දුශ්ශීල වූ යමෙක් අධර්‍මයෙන් ලැබ නො පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල නො අදහනුයේ දුශ්ශීලයන් විෂයෙහි දන් දේ ද, ඒ දානය මහත්ඵල යයි නො කියමි.
සිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් සිල්වතුන් විෂයෙහි දන් දේ ද, ඒකාන්තයෙන් ඒ දානය මහත්ඵල යයි ඇතැයි කියමි.
වීතරාග වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් වීතරාගයන් විෂයෙහි දන් දේ ද, ඒකාන්තයෙන් ඒ දානය ආමිසදානයන් අතුරෙන් අග්‍ර වේ යයි.
දොළොස් වැනි දක්ඛිණාවිභඞ්ග සූත්‍ර යි.
සතර වැනි විභඞ්ග වර්‍ග යි.
එහි උද්දානය:
භද්දේකරත්ත, ආනන්දභද්දේකරත්ත, කච්චානභද්දේකරත්ත, ලොමසකඞ්ගියභද්දේකරත්ත සූත්‍රයෝ යැ, චූළකම්මවිභඞ්ග, මහාකම්මවිභඞ්ග, සළයතනවිභඞ්ග, උද්දේසවිභඞ්ග, ධාතුවිභඞ්ග, සච්චවිභඞ්ග සූත්‍රය හා දක්‍ෂිණාවිභඞ්ගසූත්‍රය ද වේ.