ආනන්දය, වෙන වෙන පුඟුලා කෙරෙහි පිහිටි මේ දක්ෂිණාවෝ තුදුස්දෙනෙකි. කවර තුදුස්දෙනෙක යත්: අර්හත් තථාගත සම්යක්සම්බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ පළමු වන පෞද්ගලික දක්ෂිණා යැ. ප්රත්යෙක බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ දෙවන පෞද්ගලික දක්ෂිණා යැ. අර්හත් තථාගතශ්රාවකයා විෂයෙහි දන් දෙයි, මේ තුන් වන පෞද්ගලික දක්ෂිණා යැ. රහත්පල පසක් කරන්නට පිළිපන් ශ්රාවකයා විෂයෙහි දන් දෙයි, මේ සිව් වන පෞද්ගලික දක්ෂිණා යැ. අනාගාමීහට දන් දෙයි, මේ පස්වන පෞද්ගලික දක්ෂිණා යැ. අනාගාමීඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ සවන පෞද්ගලික දක්ෂිණා යැ. සෙදගැමිහට දන් දෙයි, මේ සත්වන පෞද්ගලික දක්ෂිණා යැ. සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ අටවන පෞද්ගලික දක්ෂිණා යැ. සෝවන්හු කෙරෙහි දන් දෙයි, මේ නව වන පෞද්ගලික දක්ෂිණා යැ. සෝවත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ දසවන පෞද්ගලික දක්ෂිණා යැ. කාමයෙහි වීතරාග වූ බාහිරක තාපසයා කෙරෙහි දන් දෙයි, මේ එකොළොස්වන පෞද්ගලික දක්ෂිණා යැ. පුහුදුන් සිල්වත්හු කෙරෙහි දන් දෙයි, මේ දොළොස් වන පෞද්ගලික දක්ෂිණා යැ. පුහුදුන් දුසිල්හු කෙරෙහි දන් දෙයි, මේ තෙළෙස් වන පෞද්ගලික දක්ෂිණා යැ. තිරිසන් ගියහු කෙරෙහි දන් දෙයි, මේ තුදුස් වන පෞද්ගලික දක්ෂිණා යි.
ආනන්දය, ඒ දානයන් කෙරෙහි තිරිසන්ගියහු කෙරෙහි දන් දී සියක් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. පෘථග්ජන දුශ්ශීලයා කෙරෙහි දන් දී දහස් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. පෘථග්ජන සිල්වත්හු කෙරෙහි දන් දී සියදහස් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. කාමයෙහි වීතරාග වූ බාහිරක තවුසා කෙරෙහි දන් දී කෙළලක්ෂයක් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. සෝවත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දී අසඞ්ඛෙය අප්රමේය අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. සෝවන්හු කෙරෙහි කවර කථා යැ? සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? සෙදගැමිහට කෙරෙහි කවර කථා යැ? අනගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? අනගැමි හට කෙරෙහි කවර කථා යැ? රහත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? තථාගතශ්රාවක වූ රහත්හු කෙරෙහි කෙරෙහි කවර කථා යැ? ප්රත්යෙකබුද්ධයන් වහන්සේ කෙරෙහි කවර කථා යැ? තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි කවර කථා යැ?
ආනන්දය, මේ සංඝගත දක්ෂිණාවෝ සත් දෙනෙකි: කවර සත් දෙනෙක යත්: බුද්ධප්රමුඛ උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ පළමු වන සංඝගත දක්ෂිණා යැ. තථාගතයන් වහන්සේ පිරිනිවී කල උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ දෙවන සංඝගත දක්ෂිණා යැ. භික්ෂුසංඝයා කෙරෙහි දන් දෙයි, මේ තුන් වන සංඝගත දක්ෂිණා යැ. භික්ෂුණීසංඝයා කෙරෙහි දන් දෙයි, මේ සතර වන සංඝගත දක්ෂිණා යැ. ‘මෙතෙක් මට භික්ෂුහු ද භික්ෂුණීහු ද සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ පස් වන සංඝගත දක්ෂිණා යැ. ‘මෙතෙක් මට භික්ෂුහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සවන සංඝගත දක්ෂිණා යැ. ‘මෙතෙක් මට භික්ෂුණීහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සත්වන සංඝගත දක්ෂිණා යැ.
ආනන්දය, අනාගතකාලයෙහි ගෝත්රභූ වූ දුශ්ශීල වූ පාපස්වභාව ඇති කාෂායකණ්ඨ කෙනෙක් වෙති. ඒ දුශ්ශීලයන් කෙරෙහි සඟුන් උදෙසා දන් දෙති. ආනන්දය, මම එකල්හිත් සංඝගත දක්ෂිණාව අසඞ්ඛෙය අප්රමේය අනුසස් ඇති’ යි කියමි. ආනන්දය, මම කවර අයුරෙකින් වුව ද සංඝගත දක්ෂිණායෙන් පෞද්ගලික දානය මහාඵලතර යයි නො කියමි.
ආනන්දය, මේ දක්ෂිණාවිශුද්ධීහු සතර දෙනෙකි, කවර සතර දෙනෙක යත්: ආනන්දය, ප්රතිග්රාහකයන් තබා දායකයා හේතු කොට විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, දායකයා තබා ප්රතිග්රාහකයන් හේතු කොට ගෙන විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, දායකයා හේතු කොටත් ප්රතිග්රාහකයන් හේතු කොටත් විශුද්ධ නො වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, දායකයා හේතු කොට ද ප්රතිග්රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත.
ආනන්දය, ප්රතිග්රාහකයා තබා දායකයන් හේතු කොට විශුද්ධ වන දක්ෂිණා කවර යත්: ආනන්දය, මෙහි දායකයා සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. ප්රතිග්රාහකයෝ දුශ්ශීල වෙති, පාපධර්මයෝ වෙති. ආනන්දය, මෙසෙයින් ප්රතිග්රාහකයන් තබා දායකයා හේතු කොට විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත.
ආනන්දය, දායකයා තබා ප්රතිග්රාහකයන් හේතු කොට ගෙන විශුද්ධ වන දක්ෂිණා කවර? ආනන්දය, මෙහි දායක දුශ්ශීල වෙයි, පාපධර්ම වෙයි. ප්රතිග්රාහකයෝ සිල්වත් වෙති, කලණදහම් වෙති. ආනන්දය, මෙසේ දායකයා තබා ප්රතිග්රාහකයන් හේතු කොට විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත.
ආනන්දය, දායකයා හේතු කොට ද, ප්රතිග්රාහකයන් හේතු කොට ද විශුද්ධ නො වන දක්ෂිණා කවර? ආනන්දය, මෙහි දායක ද දුශ්ශීල වෙයි, පාපධර්ම වෙති. ප්රතිග්රාහකයෝත් දුශ්ශීල වෙති, පාපධර්ම වෙති. ආනන්දය, මෙසේ දායකයා හේතු කොට ද ප්රතිග්රාහකයන් හේතු කොට ද විශුද්ධ නො වන දක්ෂිණායෙක් ඇත.