වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, උපන් ඇසිල්ලෙහි බෝසත් සමපාදයෙන් බිමැ සිට උත්තරදිශාභිමුඛ වැ සත්පියවරින් යෙයි. සේසත් ධරන කල්හි හැම දික් ඔබැ මොබැ බලයි. අභීත බස් බෙණෙයි. ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි. මේ අන්තිම ජාති යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’” යි. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එකල මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන මැ අප්‍රමාණ උදාර වූ අවභාසයෙක් පහළ වෙයි. මෙසේ මහත් ඉදුහ ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරුහු ද එළිය නො කළ හෙන විවෘත වූ අසංවෘත වූ අඳුරු වූ ගනඅඳුරින් වැසුණු යම් ලෝකන්තරික නිරය කෙනෙක් ඇද්ද, එහි දු දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන මැ අප්‍රමාණ උදාර අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙයි. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ එළියෙන් උනුන් හැඳින අන්‍ය සත්ත්‍වයෝත් මෙහි උපන්හ යි දනිති. මේ දශසහශ්‍රී ලෝකධාතුව ද කම්පිත වෙයි, වෙසෙසින් කම්පිත වෙයි, වෙසෙසින් වෙවුලයි. දෙවියන් ගේ දේවානුභාව ඉක්මැ ගෙන මැ අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
ආනන්‍දය, එහෙයින් තෙපි තථාගතයන් ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරව: ආනන්‍දය, තථාගතයන් වහන්සේට ප්‍රකට වූවාහු වේදනා උපදිති. විදිත ව වටහති, විදිත ව අස්තයට යෙති, විදිත ව සංඥාවෝ උපදිති, … විදිත ව විතර්‍කයෝ උපදිති, විදිත ව අස්තයට යෙත්. ආනන්‍දය, තෙපි තථාගතයන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරව.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේට විදිත ව වේදනාවෝ උපදිත් ද, විදිත ව වටහත් ද, විදිත ව අස්තයට යෙත් ද, විදිත ව සංඥාවෝ … විදිත ව විතර්‍කයෝ උපදිත් ද, විදිත ව වටහත් ද, විදිත ව අස්තයට යෙත් ද, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි යි සැලකළෝ.
ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ මෙය සැලකළහ: ශාස්තෲන් වහන්සේ වහන්සේ අනුදත් සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ගේ භාෂිතය අභිමුඛ ව පිළිගත්හු ය.
තුන් වැනි අච්ඡරියබ්භුත සූත්‍ර යි.