3. 1. 8.
ගෝපකමොග්ගල්ලාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කාලයෙහි රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වාස කෙරෙති. තවද එසමයෙහි වේදේහිපුත්‍ර වූ අජාතසත්තු නම් මගධදේශයෙහි රජ ප්‍රද්‍යොත රජුට සැක කෙරෙමින් රජගහනුවර ප්‍රතිසංස්කරණ කරවයි. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු කාලයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල සිත් විය: ‘රජගහනුවර පිඬු සිඟා යන්නට තව ඉතා උදැසන වෙයි. මම් ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයා ගේ කර්‍මාන්ත ස්ථානය යම් තැනෙක්හි ද ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ යම් තැනෙක්හි ද එහි එළැඹෙම් නම් මැනැවැ’ යි. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයා ගේ කර්‍මාන්තස්ථානයෙහි ගෝපකමොග්ගල්ලාන බමුණු වෙත එළැඹියහ. ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ දුරින් මැ වඩනා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් දුටුයේ ය, දැක ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී:
‘භවත් ආනන්‍දයෝ පැමිණෙත්වා, භවත් ආනන්‍දයනට ස්වාගත යැ, භවත් ආනන්‍දයෝ මෙහි පැමිණීමෙන් බොහෝ කලෙකින් මේ පරියාය කළහ. භවත් ආනන්‍දයෝ වැඩ හිඳිත්වා, මේ අසුන් පනවන ලදැයි’ . ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පැනැවූ අස්නෙහි වැඩහුන්හ. ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ ද එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හිඳගත. එකත්පස් වැ හුන් ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල කී:
‘භවත් ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍විත වූ සේක් ද, ඒ සර්‍වඥතාඥානධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක භික්‍ෂූ කෙනෙක් නමුදු ඇත් දැ’ යි.
‘බමුණ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූ සේක් ද, ඒ සර්‍වඥතාඥානධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක භික්‍ෂූ කෙනෙකුදු නැත. එසේ ම ය, ඒ භාග්‍යවත්හු නූපන් මාර්‍ගය (ස්වසන්තානයෙහි) උපදවනුවහ., (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය දනවනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණවශයෙන්) පවසනුවහ, (ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන්) මාර්‍ගය දතුවහ, මාර්‍ගය දක්නාසුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ, ඒ බුදුන් විසින් හෙළිකළ මාර්‍ගය හේතු කොටගෙන් මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදිගුණයෙන්) පසුපස යෙමින් වෙසෙති’ යි.
තවද ගෝපකමොග්ගල්ලාන බමුණු සමග ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ මේ අතුරු කථාව නො නිමියා වෙයි. එකල්හි මගධමහාමාත්‍ර වූ වස්සකාර බ්‍රාහ්මණ රාජගෘහයෙහි කමාන්තයන් විමසනුයේ ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයාගේ කර්‍මාන්තස්ථානය වෙත ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළැඹියේය, එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු විය, සතුටුවිය සිහි කළ යුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් මගධමහාමාත්‍ර වස්සකාර බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී: ‘භවත් ආනන්‍දයෙනි, දැන් කවර කථායෙකින් යුක්ත ව හුන්නු ද? තොප ගේ කවර අතුරු කථායෙක් කොට අඩාළ වී දැ’ යි.
බමුණ, මෙහි දී ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ මට මෙසේ කී: ‘භවත් ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍විත වූවාහු නම් ඒ සර්‍වඥතාඥානධර්‍මයන් ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක් භික්‍ෂූ කෙනෙකුදු ඇද්දැ’ යි. මෙසේ කී කල්හි බමුණ, මම් ගෝපකමොග්ගල්ලාන බමුණුහට මෙසේ කීමි: ‘බමුණ, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූ සේක් නම් ඒ සර්‍වඥතාඥාන ධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක භික්‍ෂූ කෙනෙකුදු නැත. බමුණ, එසේ ම ය, ඒ භාග්‍යවතුන් වහන්සේ (ස්වසන්තානයෙහි) නූපන් මාර්‍ගය උපදවනුවහ, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය දනවනුවහ, (විවරණවශයෙන්) ප්‍රකාශ නො කළ මාර්‍ගය පවසනුවහ, (තමන් වහන්සේ ඉපැදවූ) ආර්‍ය්‍යමාර්‍ගය (ප්‍රත්‍යවේක්‍ෂා විසින්) දතුවහ, (වෛනෙයසන්තානයෙහි දැනැවිය යුතු) මාර්‍ගය දන්නාසුල්ලහ, (බෝසත්නට පැවැසිය යුතු) මාර්‍ගයෙහි විචක්‍ෂණයහ. ඒ බුදුන් විසින් හෙළිකළ මාර්‍ගය හේතු කොට ගෙන මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යෙමින් වෙසෙති’ යි බමුණ, ගෝපක මොග්ගල්ලාන බමුණු සමග අපගේ මේ අතුරු කථාව අඩාළ විය, එකල්හි තෙපි පැමිණියහු යැ’ යි.
භවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නාහු නම් ඒ භවත් ගෞතමයන් විසින් ‘මේ තෙම තොපට මා ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි.
බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ තෙම තොපට මා ඇවෑමෙන් පිළිසරණ වන්නේයැ’ යි තබන ලද එක් භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි.
භවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නාහු නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි.
බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි.
තවද භවත් ආනන්‍දයෙනි, මෙසේ අප්‍රතිසරණ ශාසනයෙහි සාමග්‍රියට හේතු කවරේ දැ’ යි.
බමුණ, ඇපි අප්‍රතිසරණයමෝ නො වම් හ, බමුණ, ඇපි සප්‍රතිසරණයම්හ, දහම් පිළිසරණ කොට ඇතියම් හ’ යි.