3. 1. 9.
මහාපුණ්ණම සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතෘප්රසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩවාස කරන සේක, තවද එසමයෙහි භාග්යවතුන් වහන්සේ එදවස් පණුරැසි පොහොයෙහි මස් පිරුණු රාත්රියෙහි භික්ෂුසංඝයා විසින් පිරිවරන ලද්දාහු අභ්යාවකාශයෙහි වැඩහුන් සේක.
ඉක්බිති එක්තරා මහණෙක් හුනස්නෙන් නැඟීසිට සිවුර එකස්කොට පෙරෙව භාග්යවතුන් වහන්සේ දිසාවට දොහොත් මුදුන් තබා වැඳ භාග්යවතුන් වහන්සේට තෙල කී: ‘වහන්ස, ඉදින් මට භාග්යවතුන් වහන්සේ පැන විසඳනුවට අවකාස කරන සේක් නම්, මම භාග්යවතුන් වහන්සේ ඒකදේසමාත්රයක් පුළුවුස්මී’ කීය.
එසේ වී නම් මහණ තෙපි සිය අස්නෙහි හිඳ යමක් රිසියෙයි නම් පුළුවුස්ව’යි වදාළහ.
එ සඳ එ මහණ සිය අස්නෙහි හිඳ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ:
වහන්ස, පඤ්චෝපාදානස්කන්ධයෝ මොවුහු නො ද, ඒ මෙසේ යැ: රූපෝපාදාන ස්කන්ධය වේදනෝපාදානස්කන්ධය සංඥොපාදානස්කන්ධය සංස්කාරෝපාදානස්කන්ධය විඥානෝපාදානස්කන්ධ යි.
මහණ පඤ්චෝපාදානස්කන්ධයෝ මොහු යැ, ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්ධ වේදනෝපාදානස්කන්ධ සංඥෝපාදානස්කන්ධ සංස්කාරෝපාදානස්කන්ධ විඥානෝපාදානස්කන්ධ යි.
‘මැනැවැ වහන්සැ’ යි ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනා කොට අනුමෝදන් වැ බුදුරදුන් මත්තෙහි පැන පිළිවිත්:
යළි වහන්සැ, මේ පඤ්චෝපාදානස්කන්ධයෝ කුමක් මුල් කොට ඇත්තාහු දැ’යි.
මහණ, මේ පඤ්චෝපාදානස්කන්ධයෝ තෘෂ්ණාව මුල් කොට ඇත්තාහ’යි.
වහන්ස, එ මැ උපාදාන ඒ පඤ්චස්කන්ධයෝ වෙත් ද, නොහොත් පඤ්චොපාදානස්කන්ධයෙන් වෙන් වැ උපාදාන වේ දැ’යි.
මහණ, එ මැ උපාදානය ඒ පඤ්චෝපාදානස්කන්ධයෝ නො වෙති, පඤ්චොපාදානස්කන්ධයෙන් වෙන් වැ නො ද උපාදාන වෙයි. මහණ පඤ්චෝපාදානස්කන්ධයෙහි යම් ඡන්දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන යි.
වහන්ස, යළි පඤ්චෝපාදානස්කන්ධයන් විෂයෙහි ඡන්දරාගයාගේ වෙනස්බවෙක් ඇද්දැ’යි පිළිවිත්.
මහණ, ‘ඇතැ’ යි බුදුහු වදාළහ: ‘මහණ, මෙලොවැ කිසිවක්හට මෙසේ සිත් වෙයි: අනාගතකාලයෙහි මෙබඳු රූප ඇත්තෙම් වන්නෙමි, අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙම් වන්නෙමි, අනාගතකාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙම් වන්නෙමි, අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙම් වන්නෙමි, අනාගතකාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙම් වන්නෙමි. මෙසේ පඤ්චෝපාදානස්කන්ධ විෂයෙහි ඡන්දරාගයාගේ විවිධත්වය වන්නේ ය’ යි වදාළහ.
වහන්ස, යළි කොපමණෙකින් ස්කන්ධයන් ගේ ස්කන්ධප්රඥප්තිය වේ දැ’යි.
මහණ, අධ්යාත්ම වේවයි බාහ්ය වේවයි ඖදාරික වේවයි සූක්ෂ්ම වේවයි හීන වේවයි ප්රණීත වේවයි අතීතානාගප්රත්යුත්පන්න වූ යම් කිසි රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, මේ රූපස්කන්ධ යැ, අතීතානාගප්රත්යුත්පන්න වූ අධ්යාත්මයෙහි වේවයි බාහ්යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්රණීත වේවයි යම් වේදනාවක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි යම් වේදනාවක් ඇද්ද, මේ වේදනාස්කන්ධ යැ, අතීතානාගප්රත්යුත්පන්න වූ අධ්යාත්මයෙහි වේවයි බාහ්යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්රණීත වේවයි යම් කිසි සංඥාවක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි යම් සංඥාවක් ඇද්ද, මේ සංඥාස්කන්ධ යැ. අතීතානාගතප්රත්යුත්යන්න වූ අධ්යාත්මයෙහි වේවයි බාහ්යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්රණීත වේවයි යම් සංස්කාර කෙනෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, මේ සංස්කාරස්කන්ධ යැ. අතීතානාගප්රත්යුත්පන්න වූ අධ්යාත්මයෙහි වේවයි බාහ්යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද, මේ විඥානස්කන්ධ යැ. මහණ, මෙතෙකින් ස්කන්ධයන් ගේ ස්කන්ධප්රඥප්තිය වේයයි වදාළහ.
වහන්ස, රූපස්කන්ධයාගේ පැනැවීමට හේතු කවරේ ද, ප්රත්යය කවරේ ද, වේදනා ස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්රත්යය කවරේ ද, සංඥාස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්රත්යය කවරේ ද, සංස්කාරස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්රත්යය කවරේ ද, විඥානස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්රත්ය කවරේ දැ’ යි.
මහණ, රූපස්කන්ධය පැනැවීමට සතර මහාභූතයෝ හේතු වෙති, සතර මහාභූතයෝ ප්රත්යය වෙති. වේදනාස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්රත්යය වෙයි. සංඥාස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්රත්ය වෙයි. සංස්කාරස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්රත්ය වෙයි. මහණ, විඥානස්කන්ධය පැනැවීමට නාමරූපය හේතු වෙයි, නාමරූප ප්රත්යය වේ යයි වදාළසේක.
වහන්ස, යළි කිසෙයින් සත්කායදෘෂ්ටි වේ දැයි පිළිවිත්.
මහණ, මෙලොවැ අශ්රැතවත් පෘථග්ජන ආර්ය්යයන් නුදුටුයේ ආර්ය්යධර්මයෙහි අකෝවිද වූයේ ආර්ය්යධර්මයෙහි අවිනීත වූයේ, සත් පුරුෂයන් නුදුටුයේ සත්පුරුෂධර්මයෙහි අකෝවිද වූයේ සත්පුරුෂධර්මයෙහි අවිනීත වූයේ රූපය ආත්ම වශයෙන් දකී, රූපවත් ආත්මය හෝ ආත්මයෙහි රූපය හෝ රූපයෙහි ආත්මය හෝ දකී. වේදනාව ආත්මවශයෙන් දකී, වේදනාවත් ආත්මය හෝ ආත්මයෙහි වේදනාව හෝ වේදනාවෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්මවශයෙන් දකී, සංඥාවත් ආත්මය හෝ ආත්මයෙහි සංඥාව හෝ සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්මවශයෙන් දකී, සංස්කාරවත් ආත්මය හෝ ආත්මයෙහි සංස්කාරයන් හෝ සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්මවශයෙන් දකී, විඥානවත් ආත්මය හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකී. මහණ, මෙසෙයින් සක්කායදෘෂ්ටි වේ යයි වදාළහ.