3. 1. 7.
ගණකමොග්ගල්ලාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වෙත පූර්‍වාරාම නම් වූ මිගාරමාතුප්‍රාසාදයෙහි වැඩවසන සේක. එකල්හි ගණකමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ගණකමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල කී:
භවත් ගෞතමයෙනි, මේ මුවරමා පහය පිළිබඳ කොට යම් පරිදි යම් අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ ද, භවත් ගෞතමයෙනි, මේ බමුණන් ගේ ද මේ අධ්‍යයනයෙහි ද අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ. භවත් ගෞතමයෙනි, මේ ධනුර්ධරයන්ගේ ද මේ ආයුධශිල්පයෙහි අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනෙයි. භවත් ගෞතමයෙනි, ගණනයෙන් ජීවිකා කරන අප ගණකයනුදු ගේ මේ ගණනායෙහි අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ. භවත් ගෞතමයෙනි, අපි අතැවැස්සන් ලැබැ පළමුව ලා මෙසේ ගණනා කරම්හ. එක ඒකකය, දෙක ද්විකය, තුන ත්‍රිකය, සතර චතුෂ්කය, පස පඤ්චකය, සය ෂට්කය, සත සප්තකය, අට අෂ්ටකය, නවය නවකය, දසය දශකය’ යි. භවත් ගෞතමයෙනි, අපි සියය ද ගණනා කරවම්හ. ඉන් වැඩියකුදු ගණනා කරවම්හ. භවත් ගෞතමයෙනි, මෙ සස්නෙහි දු එපරිදි ම අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍ව ක්‍රියා අනුපූර්‍වප්‍රතිපදා පනවා ලන්නට හැක්කාව?
බමුණ, මෙ සස්නෙහි දු අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍වක්‍රියා අනුපූර්‍වප්‍රතිපත් පනවන්නට හැක්ක. බමුණ, යම් පරිදි දක්‍ෂ අස්දම්සැරියෙක් භද්‍ර සෛන්‍ධවයකු ලැබ පළමු කොට ම මුවවළලුයෙහි කාරණා කෙරේ ද, නැවත මතුයෙහි කාරණා කෙරේ ද බමුණ එපරිදිම තථාගත දැමිය යුතු පුරුෂයකු ලැබැ පළමු කොට මෙසේ විනයන කෙරෙයි: ‘මහණ, තො එ, සිල්වත් ව, ප්‍රාතිමෝක්‍ෂසංවර සංවෘත ව ආචාරගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි දු බිය දක්නාසුලු ව වාස කරව. සමාදන්වැ සිකපදයෙහි හික්මෙව’ යි.
බමුණ, යම් කලෙක මහණ සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරසංවෘත ව ආචාරගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු ව වාස කෙරේ ද, සමාදන් ව සිකපදයෙහි හික්මේ ද, තථාගත තුලුන් මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො එ ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාර වව, ඇසින් රූප දැක නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යමක් හේතු කොටගෙන චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍යපාපකඅකුශලධර්‍මයෝ ලුහුබැඳ යෙත් ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදුව, චක්‍ෂුරින්‍ද්‍රිය රක්ව, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව, කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස් ස්පර්‍ශ කොට ... සිතින් ධර්‍ම දැන නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යමක් හේතු කොටගෙන මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳ යෙත් ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදුව, මනින්‍ද්‍රිය රක්ව, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව’ යි.
බමුණ, යම් කලෙක මහණ ඉන්‍ද්‍රියයෙහි ගුප්තද්වාර වේ ද, තථාගත තෙල මහණහු මතු විනයන කෙරෙයි. ‘මහණ, තො එ, භෝජනයෙහි මාත්‍රඥ වව, නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට අහර වළඳ කරව, දවය පිණිස නො වෙයි, මදය පිණිස නො වෙයි, මණ්ඩනය පිණිස නො වෙයි, විභූෂණය පිණිස නො වෙයි, හුදෙක් මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස යාපනය පිණිස විහිංසෝපරති පිණිස බ්‍රහ්මචරියානුග්‍රහය පිණිස ම වෙයි. මෙසේ පුරාණ වේදනා ද නස්මි, නවවේදනා ද නො උපදවමි, මාගේ ජීවිත යාත්‍රා ද වෙයි, අනවද්‍යතා ඵාසුවිහාර ද වෙතී, කියායි.
බමුණ, යම් කලෙක මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, තථාගත තෙල මහණහු මතුයෙහි විනයන කෙරෙයි. ‘මහණ, තො ඒ, නිදි වැරීමෙහි අනුයුක්ත ව වාස කරව, දවහල්කල චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, රෑකල පෙරයම්හි චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, රෑකල මැදියම පයෙහි පය හයාතබා ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව උත්‍ථානසංඥා මෙනෙහි කොටගෙන දකුණුඇළයෙන් සිංහශය්‍යා කරව, රෑකල පැසුළුයමැ හොත් අස්නෙන් නැගී සිට චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, කියායි.
බමුණ, යම් කලෙක මහණ නිදි වැරීමෙහි අනුයුක්ත වේ ද, තථාගත තෙල මහණහු මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො, එ, ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්‍වාගත වව, ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි සම්ප්‍රඥානයෙන් කරනසුලු වව, ඉදිරිපස බැලීමෙහි අනුදික් බැලීමෙහි නුවණින් කරනසුලු වව, (පර්‍වයන්) හැකිළීමෙහි දිගුකිරීමෙහි නුවණින් කරනසුලු වව, සඟළපාසිවුරු ධැරීමෙහි නුවණින් කරනසුලු වව, භෝජනයෙහි පානයෙහි කෑමෙහි රස විඳීමෙහි නුවණින් කරනසුලු වව, සුළුවටන් මහවටන් කිරීමෙහි නුවණින් කරනසුලු වව, ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි ශයනයෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි නුවණින් කරනසුලු වව’ යි කියායි.
බමුණ, යම් කලෙක මහණ ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්‍වාගත වේ ද, තථාගත තෙල මහණ මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො එ, ජනශූන්‍ය සෙනසුන් භජනය කරව, අරණ්‍ය ය වෘක්‍ෂමූල ය පර්‍වත ය කන්‍දර ය ගිරිගුහා ය ශ්මසාන ය වානප්‍රස්ථ ය අභ්‍යවකාශ ය පලාලපුඤ්ජය යන මේ යි. හේ අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කන්‍දර ගිරිගුහා ශ්මසාන වානප්‍රස්ථ අභ්‍යවකාශ පලාලපුඤ්ජ යන විවික්ත ශයනාසන භජන කෙරෙයි.
හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා තබාගෙන හිඳුනේ ය. හේ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යා හැරපියා පැහූ අභිධ්‍යා ඇති සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂ හැරපියා අව්‍යාපන්නචිත්ත ව සර්‍වසත්‍ව හිතානුකම්පී ව වාස කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය පියා පැහූ ස්ත්‍යානමිද්ධ ඇති ව ආලෝකසංඥා ඇති ව ස්මෘතිමත් ව නුවණින් දන්මින් වාස කෙරෙයි. ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චය හා කුක්කුච්චය හැරපියා අනුද්ධත ව අධ්‍යාත්මයෙහි උපශාන්ත සිත් ඇති ව වාස කෙරෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත් පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡා පියා තරණය කළ විචිකිත්සා ඇති ව කුසල්දහම්හි කථංකථා රහිත ව වාස කෙරෙයි. විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි.