3. 1. 6.
ආනෙඤ්ජසප්පාය සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවත් බුදුරජාණන් වහන්සේ කුරුදනවියෙහි වූ කල්මාෂදම්ය නම් කුරුරට වැසියන් ගේ නියම්ගම්හි වැඩවාස කරන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යී භික්ෂූන් බණවා වදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල සූත්රය වදාළ සේක.
මහණෙනි, වත්කම් කෙලෙස්කම්හු ඇතිවැ නැතිවන අටින් අනිත්යයහ, (නිත්යසාර ධ්රැවසාර ආත්මසාර විරහිතයෙන්) සිස්හ, නැසෙනුවහ, නැසෙනසැහැවි ඇතියව්හ. මහණෙනි, මායාවෙන් කරන ලද බාලලාපනයෙක, (බාලයන් ලවා මා ගේ යයි කියවනු යෙක). දෘෂ්ටධාර්මික වූ යම් මානුෂක පඤ්චකාමගුණ කෙනෙක් ඇද්ද, සාම්පරායික වූ යම් තදවශේෂ කාම කෙනෙකුත් ඇද්ද, දෘෂ්ටධාර්මික වූ යම් කාමසංඥාවකුත් ඇද්ද, සාම්පරායික වූ යම් කාමසංඥාවකුත් ඇද්ද, තෙල කාම කාමසංඥා යන දෙක ම මාරායත්තයෙක (මාරයා ගේ වශයෙහි වැටෙයි) තෙල මාරයාගේ විෂයයෙක, තෙල මාරයා ගේ නිවාපයෙක, තෙල මාරයා ගේ ගෝචරයෙක. මේ පස්කම් විෂයෙහි මෙනෙහි උපදනා අභිධ්යාව ද ව්යාපාදය ද (කරණුත්තරියකරණ ලක්ෂණ) සාරම්භය ද යන තෙල ලාමක අකුශල ධර්මයෝ පවත්නාහ. ඒ තුන් කෙලෙස්හු මෙ සස්නෙහි හික්මෙන ආර්ය්යශ්රාවක හට අන්තරාය පිණිස වෙත්.
මහණෙනි, එහි ලා ආර්ය්යශ්රාවක මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් වෙත් ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥා කෙනෙකුත් යම් සාම්පරායික කාමසංඥා කෙනෙකුත් වෙත්ද, තෙල කාම කාමසංඥා යන දෙක ම මරුට තැන් වෙයි, තෙලෙ මරුට විෂය වෙයි, තෙලෙ මරුගේ නිවාප යැ, තෙල මරුගේ ගෝචර යි. මේ කාමගුණ විෂයෙහි මානසික වූ අභිධ්යා යැ ව්යාපාද යැ සාරම්භ යැ යන තෙල ලාමක අකුශලධර්මයෝ පවත්නාහ. ඒ තුන් කෙලෙස්හු මෙ සස්නෙහි හික්මෙන ආර්ය්යශ්රාවක හට අන්තරාය පිණිස වෙති. මම් කාමගුණලෝකය මැඩපියා, දැහැන් අරමුණු සිතින් ඉටා, විපුල වූ මහද්ගත වූ සිතින් යුක්ත ව වෙසෙම් නම් මැනව. යම්හෙයෙකින් කාමගුණලෝකය මැඩපියා, දැහැන් අරමුණු සිතින් ඉටා, විපුල වූ මහත්ගත වූ සිතින් යුක්ත ව වෙසෙන මට චිත්තසම්භූත වූ අභිධ්යා යැ ව්යාපාද යැ සාරම්භ යැ යන යම් ලාමක අකුශල කෙනෙක් වෙත් නම්, ඔහු නො වන්නාහ. ඔවුන්ගේ ප්රහාණයෙන් මාගේ සිත (ලෝකෝත්තර විසින්) මහද්ගත ද අප්රමාණ ද සුභාවිත ද වන්නේය’යි. මෙසේ පිළිපන් එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත (අර්හත්ත්වාදි) කාරණයෙහි පහදී. සම්ප්රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආනෙඤ්ජ (චතුර්ත්ථධ්යාන) සමාපත්තියට හෝ සමවදියි. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්යමාන වෙයි. යම්හෙයෙකින් ඒ භික්ෂූහු ගේ උපදනට නිසි විපාක විඥානය වී ද, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ පළමුවන ආනෙඤ්ජසප්පාය (චතුර්ත්ථධ්යානයට හිත වූ) ප්රතිපදාව යයි කියනු ලැබේ.
යළිදු මහණෙනි, ආර්ය්යශ්රාවක මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාම කෙනෙකුත් යම් සාම්පරායිකකාම කෙනෙකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් කිසි රූපයෙක් ඇද්ද, (එ හැම) සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැ’ යි (කියායි). මෙසේ පිළිපන් එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත (අර්හත්වාදි) කාරණයෙහි පහදී. සම්ප්රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආනෙඤ්ජසමාපත්තියට හෝ සමවදියි. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ උපදනට නිසි විපාක විඥානය වී නම්, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ දෙවැනි චතුර්ත්ථධ්යාන සංඛ්යාත ආනෙඤ්ජසප්පාය ප්රතිපදාව යයි කියනු ලැබේ.
යළිදු මහණෙනි, ආර්ය්යශ්රාවක මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, තෙල (දිට්ඨධම්මික සාම්පරායික යන) දෙකම අනිත්ය ය. යමක් අනිත්ය නම් එය තෘෂ්ණා දෘෂ්ටි විසින් අභිනන්දනා කරන්නට නො නිසි වෙයි. අභිමානයෙන් කියන්නට නො නිසි වෙයි, බැසැගෙන සිටින්නට නො නිසි වේ ය’ යි. මෙසේ පිළිපන් ඒ කාම-රූපප්රතිබාහනයෙන් එමැ පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණහු ගේ සිත අර්හත්වාදි කාරණයෙහි පහදී. සම්ප්රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි මැ විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. විඤ්ඤාණඤ්චායතන සංඛ්යාත ආනෙඤ්ජයට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ උපතට නිසි විපාකවිඥානය වී නම්, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේය. මහණෙනි, මේ තුන්වැනි ආනෙඤ්ජසප්පාය ප්රතිපදාව යයි කියනු ලැබේ.
යළිදු මහණෙනි, ආර්ය්යශ්රාවක මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් විඤ්ඤාණඤ්චායතන සංඛ්යාත ආනෙඤ්ජසංඥාවකුත් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤායතනයකට පැමිණ තෙල සියලු සංඥාවෝ නිරවශේෂ කොට නිරුද්ධ වෙත් ද, යම් මේ ආකිඤ්චඤ්ඤායතනයෙක් ඇද්ද, තෙල (අඞ්ගශාන්තතායෙන් ද ආලම්බනශාන්තතායෙන් ද) ශාන්ත යැ තෙල (අතෘප්තකාර්ත්ථයෙන්) ප්රණීත යැ’ යි. මෙසේ පිළිපන් (ඒ සංඥා යටපත් කිරීමෙන්) එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි පහදී. සම්ප්රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ උපදනට නිසි විපාකවිඥානය වී නම් එය ආකිඤ්චඤ්ඤායතනකුශල ස්වභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, මේ පළමු වන ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්රතිපදා යයි කියනු ලැබේ.
යළිදු මහණෙනි, ආර්ය්යශ්රාවක අරණ්යසෙනාසනයට ගියේ වේව’ යි වෘක්ෂමූලයට ගියේ වේව’යි ශුන්යාගාරයට ගියේ වේව’ යි මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: ‘මේ පඤ්චස්කන්ධය (මම ය මාගේ ය යන) ආත්මයෙන් ද ආත්මනීයභාවයෙන් ද ශුන්ය වේ’ යයි. මෙසේ පිළිපන් (යට කී පිළිවෙත හා) මේ ශුන්යතප්රතිපදාව බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආයතනයෙහි පහදී. සම්ප්රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි රහත්බව හෝ පසක් කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතන සමවතට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ උපතට නිසි විපාක විඥානය වී නම් ආකිඤ්චඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, දෙවැනි ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්රතිපදා යයි කියනු ලැබේ.