3. 1. 5.
සුනක්ඛත්ත සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විශාලා මහනුවර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වාස කරනසේක. එසමයෙහි බොහෝ මහණුන් විසින් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි “ජාති ක්ෂය කරනලද, මඟ බඹසරවස් වැස නිමවන ලද, කරණී කරනලද, මේ බවට කළයුතු අන් කිසෙක් නැතැ’ යි දනුම්හ” යි අර්හත්වය ප්රකාශ කරන ලද වෙයි. සුනක්ඛත්ත ලිච්ඡවිපුත්ර “බොහෝ මහණුන් විසින් භාග්යවතුන් සමීපයෙහි දී ‘ජාති ක්ෂය කරනලද, මඟබඹසරවස් වැස නිමවනලද, කරණී කරනලද, මෙ බවට කළයුතු අන් කිසෙක් නැතැ’ යි දනුම්හ’ යි අර්හත්වය පවසන ලද වේ” යයි ඇසී.
එසඳ සුනක්ඛත්ත ලිච්ඡවිපුත්ර භාග්යවතුන් කරා එළඹ භාග්යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සුනක්ඛත්ත ලිච්ඡවිපුත්ර භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:
“වහන්ස, මා විසින් තෙල අසන ලද: ‘බොහෝ භික්ෂූන් විසින් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි අර්හත්වය ප්රකාශ කරන ලද, ජාතිය ක්ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්ථම්භාවය (කෙලෙසුන් නැසීම) පිණිස මඟබවුන් කිසයෙක් නැතැ’ යි දනුම්හ” යි. කිමෙක වහන්ස, ඒ භික්ෂූහු මැනැවින් ම අර්හත්වය පැවැසූහු ද, නොහොත් ඔවුන් කෙරෙහි ඇතැම් භික්ෂූහු අධිමානයෙන් අර්හත්වය පැවසූහු ඇත් දැ’ යි.
සුනක්ඛත්තය, යම් භික්ෂු කෙනෙක් මා සමීපයෙහි ‘ජාති ක්ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්ථම්භාවය පිණිස අන් කිසයෙක් නැතැ’ යි දනුම්හ’ යි රහත්බව පැවැසූහු ද, ඔවුන් කෙරෙහි ඇතැම් භික්ෂූහු මැනැවින් ම අර්හත්වය ප්රකාශ කළාහු ඇත. යලි ඇතැම් භික්ෂූහු අධිගතමානයෙනුදු අර්හත්වය ප්රකාශ කළාහු ඇත. සුනක්ඛත්තය, ඔවුන් කෙරෙහි යම් භික්ෂු කෙනෙක් මැනැවින් මැ අර්හත්වය ප්රකාශ කළාහු ද, ඔවුන්ගේ ඒ ව්යාකරණය එසෙයින් මැ වෙයි. යලි යම් භික්ෂු කෙනෙක් අධිගතමානයෙන් අර්හත්වය ප්රකාශ කළාහු ද, එහි ලා සුනක්ඛත්තය, තථාගතයනට මෙසේ සිත් වෙයි: ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි. සුනක්ඛත්තය, ඒ භික්ෂූන්ගේ අඤ්ඤව්යාකරණයෙහි ලා ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි තථාගතයනට මෙසේත් සිත් වෙයි. එතෙකුදු වත් මෙ සස්නෙහි ඇතැම් මෝඝපුරුෂයෝ පැන පුනපුනා සකසා තථාගතයන් කරා එළැඹ පුළුවුස්ති. එහි ලා සුනක්ඛත්තය, යම් කරුණෙකින් ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි තථාගතයනට මෙසේ සිත් වෙයි, ඒ චිත්තයාගේ ද අන්යථාත්වය වේ යයි.
‘යම් හෙයෙකින් භාග්යවතුන් වහන්සේ දහම් දෙසන සේක් ද, භාග්යවතුන් වහන්ස, මේ ඊට කලැ, සුගතයන් වහන්ස, මේ ඊට කලැ, භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ දෙසුම් අසා ධරන්නාහ’ යි. සුනක්ඛත්තය, එසේ වී නම් අස, මනා කොට මෙනෙහි කර, දෙසන්නෙමි’ යි.
එසේ යැ වහන්සැ’ යි සුනක්ඛත්ත ලිච්ඡවිපුත්ර භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී, භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක:
සුනක්ඛත්තය, මේ කාමගුණයෝ පස්දෙනෙක, කවර පස්දෙනෙක යත්: චක්ෂුර් විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්රියස්වභාව වූ (අරමුණු කොට උපදනා) කාමයෙන් යුත් රාග ඉපදීමට කරුණු වූ රූපයෝ යැ, ශ්රොත්රවිඥානයෙන් දතයුතු ශබ්දයෝ යැ ... ඝ්රාණවිඥානයෙන් දතයුතු ගන්ධයෝ යැ ... ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයෝ යැ ... කායවිඥානයෙන් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්රියස්වභාව වූ කාමොත්පාදක වූ රාගයට කරුණු වූ ස්ප්රෂ්ටව්යයෝ යැ, සුනක්ඛත්තය, මොහු පඤ්චකාමගුණයෝ යි.
තවද සුනක්ඛත්තය, තෙල කරුණ විද්යමාන වෙයි: මෙලොවැ ඇතැම් පුරුෂ පුද්ගලයෙක් යම්හෙයෙකින් (වට්ට-කාම-ලෝකාමිසසංඛ්යාත) පස්කම්ගුණයෙහි ඇලුණේ වේ නම්, සුනක්ඛත්තය, ඒකාන්තයෙන් පඤ්චකාමගුණයෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගල හට ඒ කාමගුණ සභාග වූ මැ කථාව පවතී, ඊට අනුරූප ධර්ම වූ විතර්කය ද විතර්ක කෙරෙයි, විචාරණය කෙරෙයි, ඒ (කාමගුණ කථා කරන) පුරුෂයා ද භජනය කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි කථාව කරනු ලබන කල්හි නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද බෙජෙයි, ඔහු ගෙන් නො ද සතුටට පැමිණෙයි.
යම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් සිය ගමින් හෝ නිගමයෙන් හෝ බොහෝ කල් වෙන් වැ වසන්නේ ද, හේ ඒ ගමින් හෝ නිගමයෙන් හෝ පැමිණි නො බෝකල් ඇති අන්යතර පුරුෂයකු දක්නේ නම්, හේ ඒ පුරුෂයා අතින් ඒ ගම හෝ නිගමය හෝ පිළිබඳ ක්ෂේම බව ද සුභික්ෂ බව ද නිරාබාධ බව ද පුළුවුස්නේ ය, ඔහට ඒ පුරුෂ ඒ ගම හෝ නියම්ගම හෝ පිළිබඳ ක්ෂේම බව ද සුභික්ෂ බව ද නිරාබාධ බව ද පවසන්නේය. සුනක්ඛත්ත, එ කිමැයි සිතයි ද? ඒ පුරුෂ ඒ (පැමිණි) පුරුෂයාගේ බස් අසනු කැමැතිවන්නේ නො ද, ඇසීමට කන නමන්නේ නො ද, දැනුමට සිත එළවන්නේ නො ද, ඒ පුරුෂයාත් සෙවුනේ නො ද, ඔහුගෙනුදු සතුටට පැමිණෙන්නේ නො වේ දැ?’ යි.
එසේ යැ වහන්ස,
එසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොව ඇතැම් පුරුෂපුද්ගලයෙක් (වට්ට-කාම-ලෝකාමිෂ සංඛ්යාත) පඤ්චකාමගුණයෙහි ඇලුණේ වන්නේ ද, සුනක්ඛත්තය, ලෝකාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ මැ කථාව පවති, ඊට අනුරූප වූ ධර්මය මැ විතර්ක කෙරෙයි, විචාරණය කෙරෙයි, ඒ පස්කම් ගුණයෙහි ඇලුණු පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි වූ කථාව කරන ලබන කල්හි අසන්නට නොරිසි වෙයි. ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, එයින් සතුටට නො ද පැමිණෙයි. හේ මෙසේ දතයුතු වන්නේ ය. ආනෙඤ්ජ සමාපත්තිසංයෝජනයෙන් යුක්ත නො වූ පඤ්චකාමගුණාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.
සුනක්ඛත්තය, තෙල කරුණ විද්යමාන වෙයි: මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණේ වේ ද, සුනක්ඛත්තය, ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ කථාව පවතී, ඊට අනුරූප වූ ධර්මය විතර්කවිචාර ද කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි පඤ්චකාමගුණාමිෂයෙන් යුක්ත වූ කථාව කරනුලබන කල්හි නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද ඇසුරු කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටු වෙයි.