3. 1. 4.
සාමගාම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ සාමග්‍රාමයෙහි වැඩවාස කරන සේක. එකල්හි නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර කලුරිය කළ නොබෝකල් ඇති වෙයි. ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු ද්වීභාග වූවාහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙති. කෙසේ යැ: ‘තෝ මේ ධර්‍මවිනය නො දන්හි, මම මේ දහම්විනය පිළිපැද දන්මි, කිම තෝ මේ දහම්විනය දන්හි ද, තෝ වරදවා පිළිපන්හි, මම මොනොවට පිළිපන්මි, ම බස අර්‍ත්‍ථ සංහිත ය, තා බස අර්‍ත්‍ථසංහිත නො වෙයි. කැලම කියැයුත්ත පසුවලා කීයෙහි, පසුවලා කියැයුත්ත කැලම කීයෙහි, (චිරකාලාසේවන වශයෙන්) ආචීර්‍ණ වූ තාගේ වාදය පෙරැළිණ, තට වාදාරෝපණ කරන ලද, නිගන්නා ලද්දෙහි, වාදප්‍රමොක්‍ෂයට (උත්තර සපයමින්) ඇවිදුව, ඉදින් හැක්කෙහි නම්, නිරවුල් හෝ කරවයි’ කියා යි. නාතපුත්‍රයා සිසු නුවටුන් කෙරෙහි වධයක් සෙයින් වැටෙයි.
නිගණ්ඨනාතපුත්‍රයාගේ සුදු පිළීහඳනා යම් ගිහිසව් කෙනෙක් ඇද්ද ඔහුත් වරදවා කී වරදවා දන්වාලු අනෛර්‍ය්‍යාණික වූ ක්ලේශව්‍යුපශම පිණිස නො වැටෙන සම්‍යක් සම්බුද්ධ නො වන්නකු විසින් කියන ලද බුන් පිහිට ඇති පිළිසරණ රහිත ධර්‍මවිනයෙක යම්සේ කලකිරෙත් ද, එසේ නාතපුත්‍ර අතැවැසි වූ නුවටුන් කෙරෙහි උකැටිසැහැවි ඇත්තාහු නො ඇලුණාහු සත්කෘත්‍යක්‍රියායෙන් වැළැකුණාහු වෙති.
එසඳ චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ පාවානුවර වස්විසුවාහු සාමග්‍රාමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සකසාවැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තෙල කීහු: ‘ වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර දී කලුරියකළ නොබෝකල් ඇත්තේ ය, ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු දෙබේ වූවාහු හටගත් භණ්ඩන ඇතියාහු හටගත් කලහ ඇතියාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් විදුනාහු වාස කෙරෙති ’ … බුන් පිහිට ඇති පිළිසරණ නැති (වරදවා කී ධර්‍මවිනයෙක යම්සේ කලකිරෙත් ද එසෙයින් ... කලකිරෙති.)
මෙසේ කී කල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ චුන්‍දසමණුද්දෙස තෙරණුවනට තෙල කීහු: ‘ඇවැත් චුන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා මේ කථාවස්තු පඬුරෙක් ඇත, යම්හ, ඇවත චුන්‍දයෙනි, භාග්‍යවතුන් කරා එළැඹෙම්හ, එළැඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කථාර්‍ත්‍ථය සැලකරම්හ’ යි. ‘වහන්ස, එසේ යැ’ යි චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පිළිවදන් දුන්හු.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් හා චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්හු. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: ‘වහන්ස, මේ චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ මෙසේ කියති: (කිසේ යැ:) ‘වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර මෙසඳ කලුරිය කළේ යැ, ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු දෙබේ වැ භණ්ඩනජාත වැ කලහජාත වැ විවාදාපන්න වැ උනුන් මුවසැතින් විදුමින් වාස කෙරෙති, ... බුන් පිහිට ඇති පිළිසරණ නැති (වරදවා කී ධර්‍මවිනයෙක කලකිරෙනුවන් සෙයින් උන්ගේ ගිහිසව්වෝ ද උන් කෙරෙහි කලකිරුණහ.) වහන්ස, මට මෙවන් සිතෙක් පහළ වෙයි: භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සඟුන් කෙරෙහි නහමක් විවාද උපදීවා, (කරව හෙයින?) ඒ විවාද බොහෝ දෙනාට අහිත පිණිස බොහෝදෙනාට නොසුව පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ ද එහෙයිනි.
ආනන්‍දය, ඒ කෙසේ හඟිහි, මා විසින් තොපට යම් ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කොට දෙසල ලදහු ද, ඔහු කවරහ යත්: සතර සීවටනුහු යැ, සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මොහු යි. ආනන්‍දය, තෙපි මේ ධර්‍මයන් කෙරෙහි භින්නවාද වූ දෙ මහණ කෙනකුදු දක්නාව? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කොට දෙසන ලදහු ද, ඔහු කවරහ යත්: සතර සීවටන් හු යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මොහු යි. මම මේ ධර්‍මයන් කෙරෙහි භින්නවාද වූ දෙ මහණ කෙනකුදු නො දක්මි. වහන්ස, යම් මැ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නාහු වාස කෙරෙත් ද, ඔහුද භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ආජීවනිමිත්තෙහි හෝ (තදන්‍ය) ප්‍රාතිමෝක්‍ෂ නිමිත්තෙහි හෝ සඞ්ඝයා කෙරෙහි විවාද දනවන්නාහු නම් ඒ විවාද බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටෙතී’ සැලකළෝ.
ආනන්‍දය, ආජීවනිමිත්තෙහි වේවයි, අධිප්‍රාතිමෝක්‍ෂනිමිත්තෙහි වේවයි යම් මැ විවාදයෙක් ඇත්නම් ඒ විවාද අල්පමාත්‍ර විවාදයෙකි, ආනන්‍දය, මාර්‍ගය නිමිති කොට හෝ ප්‍රතිපත් නිමිති කොට හෝ උපදනාවිවාදයෙක් වේ නම් ඒ විවාදය බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටෙයි.
ආනන්‍දය, මේ විවාදමූලයෝ සදෙනෙකි, කවර සදෙනෙක යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇතියේ වේ ද, ආනන්‍දය, යම් ඒ මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇතියේ වේ නම්, ඒ මහණ ශාස්තෲන් වහන්සේ කෙරෙහිදු අගෞරව ව යටත් පැවැතුම් නැති ව වාස කෙරෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වාස කෙරෙයි, සඞ්ඝයා කෙරෙහි දු ගෞරව නැති ව අප්‍රතිශ්‍රය ව වාස කෙරෙයි, ශික්‍ෂායෙහි දු පරිපූරකාරී නො වෙයි. ආනන්‍දය, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත ව ප්‍රතිශ්‍රය රහිත ව වාස කෙරේ ද, ධර්‍මය කෙරෙහි … ගෞරව රහිත ව ප්‍රතිශ්‍රය රහිත ව වාස කෙරේ ද, ශික්‍ෂායෙහි පරිපූරකාරී නො වේ ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද දනවා ද, ඒ විවාද බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටේ. ඉදින් ආනන්‍දය, තෙපි මෙවන් විවාදමූලයක් තමා තුළ හෝ බැහැර හෝ දක්නහු නම්, ආනන්‍දය, එහි ලා තෙපි ඒ පාපක වූ විවාදමූලයාගේ මැ ප්‍රහාණය පිණිස ව්‍යායාම කරව, ඉදින් ආනන්‍දය, තෙපි මෙබඳු විවාදමූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නො දක්නහු නම්, ආනන්‍දය, එහි ලා තෙපි පාපක වූ ඒ විවාදමූලයාගේ මැ මතු නූපදනා පිණිස පිළිපදුව. මෙසේ තෙල පාපක විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසේ තෙල විවාදමූලයාගේ මතු නො ඉපැද්ම වෙයි.