3. 1. 3.
කින්ති සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්යවතුන් වහන්සේ කුසිනාරා නම් ජනවියෙහි (භූතයනට බිලි එළවනුයෙන්) බලිහරණ නම් වනළැව්හි වැඩ වසනසේක. එතන්හි දී භාග්යවත්හු ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූහ. ‘වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙ සුත වදාළහ.
මහණෙනි, තොපට මා කෙරෙහි කුමන සිතෙක් වේ ද: ‘ශ්රමණ ගෞතමයෝ චීවරහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්රමණ ගෞතමයෝ පිණ්ඩපාත හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්රමණ ගෞතමයෝ සේනාසන හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්රමණ ගෞතමයෝ (දේශනාමය පින්කිරියවත් නිසා) ඒ ඒ භවයෙහි ‘සුව විඳිමි ’ යන හේතුයෙන් හෝ දහම් දෙසති’ යි කියා යි.
වහන්ස, අපට භාග්යවතුන් වහන්සේ කෙරෙහි මෙවන් සිතෙක් නො වෙයි: ‘ශ්රමණ ගෞතමයෝ චීවරහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්රමණ ගෞතමයෝ පිණ්ඩපාත හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්රමණ ගෞතමයෝ සේනාසන හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්රමණ ගෞතමයෝ ‘ඒ ඒ භවයෙහි සුව විඳිමි’ යන හේතුයෙන් හෝ දහම් දෙසතී’ කියා යි.
මහණෙනි, තොපට මා කෙරෙහි මෙවන් සිතෙක් නො වේ ල: ‘ශ්රමණ ගෞතමයෝ චීවරහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්රමණ ගෞතමයෝ පිණ්ඩපාතහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්රමණ ගෞතමයෝ සේනාසනහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්රමණ ගෞතමයෝ ‘ඒ ඒ භවයෙහි සුව විඳිමි ’ යන හේතුයෙන් හෝ දහම් දෙසති’ යි, සිතෙක් නො වේ ල. එසේ වී නම් මහණෙනි, තොපට මා කෙරෙහි කිනම් සිතෙක් වේ දැ? යි.
වහන්ස, අපට භාග්යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු සිතෙක් වෙයි: ‘භාග්යවතුන් වහන්සේ අනුකම්පා ඇතියහ, හිතෛෂීහ, අනුකම්පා පිණිස දහම් දෙසනසේකැ’ යි.
මහණෙනි, තොපට මා කෙරෙහි මෙබඳු සිතෙක් වේ නම්: ‘බුදුහු අනුකම්පා ඇතියහ, හිතෛෂීහ, අනුකම්පා පිණිස දහම් දෙසති’ යි. එහෙයින් මහණෙනි, මෙහිලා තොපට මා විසින් යම් ධර්ම කෙනෙක් ප්රත්යක්ෂ කොට දෙසනලද්දාහු ද, ඒ මෙසේ යැ: ‘සතර සතිපට්ඨානයෝ යැ සතර සම්යක්ප්රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්ද්රියයෝ යැ පඤ්චබලයෝ යැ සප්තබෝධ්යඞ්ගයෝ යැ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ග යි. ඒ සත්තිස් බෝධිපාක්ෂිකධර්මයන්හි සියල්ලන් විසින් මැ සමග්රවූවන් සතුටු වූවන් විවාද නො කරනුවන් විසින් හික්මියයුතු යැ.
තවද මහණෙනි, සමග්ර ව සතුටු වෙමින් විවාද නො කෙරෙමින් හික්මෙන එ තොප අතුරෙන් භික්ෂූහු දෙදෙනෙක් ඒ (සත්තිස් බොධිපාක්ෂිකධර්ම සඞ්ඛ්යාත) අභිධර්මයෙහි නානාවාද ඇත්තාහු වෙති. ඉදින් තොපට එහි ලා ‘මේ ආයුෂ්මතුන් ගේ (වාදයෙහි) අර්ත්ථ හෙයින් ද නානාත්වය ඇත. ව්යඤ්ජන හෙයින් ද නානාත්වය ඇතැ’යි මෙබඳු සිතෙක් වී නම්, ඔවුනතුරෙහි යම් මහණක්හු ඉතා සුවච යයි හඟනවු ද, (ඔහු කරා) එළැඹ හේ මෙසේ කියැයුතු වන්නේ ය: ‘ආයුෂ්මතුන් ගේ (වාදය) අර්ත්ථ හෙයින් ද විවිධ යැ, ව්යඤ්ජන හෙයින් ද විවිධ යැ, යම් පරිදි අර්ත්ථ හෙයිනුදු නානාත්වය ඇද්ද ව්යඤ්ජන හෙයිනුදු නානාත්වය ඇද්ද, මෙ කරුණෙනුදු ආයුෂ්මත්හු තෙල දැනගන්නහුය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙව’ යි. යළි සමාන පක්ෂ ඇති අන්ය භික්ෂූන් අතුරෙන් යම් මහණකු ‘ඉතා සුවච’ යයි හඟනවු ද, (ඔහු වෙත) එළඹ හේ මෙසේ කියයුතු වන්නේ ය: ආයුෂ්මතුන්ගේ වාදය අර්ත්ථ හෙයිනුදු වෙනසි, ව්යඤ්ජන හෙයිනුදු වෙනසි, යම් පරිදි අර්ත්ථ හෙයිනුදු නානාත්වය ඇද්ද, ව්යඤ්ජන හෙයිනුදු නානාත්වය ඇද්ද, මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි තෙල දැනගන්නහු ය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්ව’ යි. මෙසේ නපුරු කොට ගන්නා ලද්ද නපුරු කොට ගන්නා ලද හෙයින් ධැරියයුතු ය. මනාකොට ගන්නාලද්ද මනාකොට ගන්නාලද හෙයින් ධැරියයුතු ය. දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධරා සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධරා යම් ධර්මයෙක් යම් විනයෙක් වේ ද, ඒ (ධර්මවිනය) කියයුත්තේ යි.
ඉදින් තොපට එහි ලා මෙබඳු සිතෙක් වේ නම්: මේ ආයුෂ්මතුන් ගේ වැලිත් අර්ත්ථ හෙයින් ම නානාත්වය ඇත, ව්යඤ්ජන හෙයින් සම වේ ය’ යි. ඔවුනතුරෙහි යම් මහණක්හු සුවචතර යයි හඟනවු නම්, (ඔහු) කරා එළඹැ එ මහණ මෙසේ කියයුතු වන්නේ ය. ආයුෂ්මතුන් ගේ (වාදයෙහි) අර්ත්ථ හෙයින් මැ නානාත්වය ඇත, ව්යඤ්ජන හෙයින් සම වෙයි. යම් පරිදි අර්ත්ථ හෙයින් මැ නානාත්වය ඇද්ද, ව්යඤ්ජන හෙයින් සම වේ ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි තෙල දැනැගන්නහු යැ. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්ව යි. යලි සමාන පක්ෂ ඇති අන්ය භික්ෂූන් අතුරෙන් යම් මහණක්හු සුවචතර යයි හඟනවු ද, (ඔහු කරා) එළැබ හේ මෙසේ කිය යුතු වන්නේය: ආයුෂ්මතුන් ගේ (වාදය) අර්ත්ථ හෙයින් ම නානාත්වය ඇත, ව්යඤ්ජන හෙයින් සම වෙයි. යම් පරිදි අර්ත්ථ හෙයින් ම නානාත්වය ඇද්ද ව්යඤ්ජන හෙයින් සම වේ ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත් වූ තෙපි තෙල දැනගන්නහු ය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්වයි, මෙසෙයින් දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධැරිය යුතු යැ. සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධැරිය යුතු යැ. දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධරා සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධරා යම් ධර්මයෙක් යම් විනයෙක් වේ ද, ඒ (ධර්මවිනය) කියයුත්තේ යි.
ඉදින් තොපට එහි ලා මෙබඳු සිතෙක් වේ නම්: මේ ආයුෂ්මතුන් ගේ (වාදය) වැලිත් අර්ත්ථ හෙයින් ම සම සම වෙයි. ව්යඤ්ජන හෙයින් නානාත්වය ඇතැ’ යි. ඔවුනතුරෙහි යම් මහණකු ඉතා සුවච යයි හඟනවු නම්, (ඔහු කරා) එළැඹ හේ මෙසේ කියැයුතු වන්නේ ය: ආයුෂ්මතුන් ගේ (වාදය) වැලිත් අර්ත්ථ හෙයින් මැ සම වෙයි. ව්යඤ්ජන හෙයින් නානාත්වය ඇත. යම් පරිදි අර්ත්ථ හෙයින් මැ සම වේ ද, ව්යඤ්ජන හෙයින් නානාත්වය ඇද්ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි දැනගන්නහු ය: ‘යම් මේ ව්යඤ්ජනයෙක් ඇද්ද, තෙල අල්පමාත්ර මැ ය. ආයුෂ්මත්හු අල්පමාත්ර කරුණෙහි නහමක් විවාදයට පැමිණෙත්ව’ යි. ඉක්බිති සපක්ෂ වූ අන්ය භික්ෂූන් අතුරින් යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත එළැඹ හේ මෙසේ කියැයුතු වෙයි: ආයුෂ්මතුන් ගේ වාදය වැලිත් අර්ත්ථ හෙයින් සම වෙයි. බ්යඤ්ජන හෙයින් භින්න වෙයි. යම් පරිදි අර්ත්ථ හෙයින් සම වේ ද බ්යඤ්ජන හෙයින් භින්න වේ ද තෙල බ්යඤ්ජනය අල්පමාත්ර වෙයි. ආයුෂ්මත් වූ තෙපි අල්පමාත්ර බ්යඤ්ජනයෙහි විවාදයට නහමක් වදුව යන තෙල කරුණ ආයුෂ්මත් වූ තෙපි මෙයිනුදු දන්නේ මැනැව. මෙසෙයින් මොනොවට ගත් දැය මොනොවට ගත් සෙයින් ධැරිය යුතු ය. වරදවා ගත් දැය වරදවා ගත් සෙයින් ධැරිය යුතු ය. මොනොවට ගත් දැය මොනොවට ගත් සෙයින් ධරා, වරදවා ගත් දැය වරදවා ගත් සෙයින් ධරා, යම් ධර්මයෙක් යම් විනයෙක් ඇද්ද ඒ දෙසිය යුතු ය.