3. 1. 2.
පඤ්චත්තය සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ගොදුරුගම් කොට අනේවඩු මහසිටුහුගේ දෙව්රම් නම් අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි එ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, (අපරාන්ත සංඛ්යාත අනාගත ස්කන්ධභාග විකල්පනා කොට ගනුයෙන්) අපරාන්තකල්පික වූ (අපරාන්තානුගත දෘෂ්ටි ඇතියෙන්) අපරාන්තානුදෘෂ්ටික වූ අපරාන්තය අරභයා අනේකප්රකාර වූ (යථාර්ත්ථය නො ගෙන වැටෙනුයෙන් අධිවෘත්ති යයි කියන ලද) දෘෂ්ටිදීපක වචනයන් මතු කොට පවසත් ද, එබඳු වූ (ලෝකයා විසින්) ශ්රමණයහ’යි ද බ්රාහ්මණයහ’යි ද සම්මත වූ කිසි වාදී කෙනෙක් ඇත. ‘ආත්මය සංඥා සමන්විත වෙයි, මරණින් මතු නිත්ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති. ‘ආත්මය සංඥා සමන්විත නො වෙයි, මරණින් මතු නිත්ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති. ‘ආත්මය නෛවසංඥ නාසංඥ වෙයි, මරණින් මතු නිත්ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති, විද්යමාන වූ මැ සත්ත්වයාගේ උපච්ඡේදය අදර්ශනය භවවිගමය පනවති. කිසි වාදී කෙනෙක් (මෙ ලොව්හි ම දුඃඛව්යපශම වෙතී ගත්) දෘෂ්ටධර්මනිර්වාණය පවසත්. මෙසේ (සංඥී ආදී විසින් තුන් අයුරෙකින්) විද්යමාන වූ ආත්මයක් මරණින් මතු නිත්ය කොට පනවත්. විද්යමාන වූ සත්ත්වයාගේ උපච්ඡේද අදර්ශන භවවිගම පනවත්. කිසි කෙනෙක් දෘෂ්ට ධර්මනිර්වාණ හෝ පවසත්. මෙසේ මොහු පසක් ව තිදෙනෙක් වෙති. තුනක් ව පස් දෙනෙක් වෙති. මේ පඤ්චත්රිකයා ගේ උද්දේස යි.
මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්ය වූ සංඥාවත් ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ (කරජරූපයෙන් හෝ කසිණ රූපයෙන් හෝ) රූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ (අරූපසමාපත්තිනිමිත්ත වූ හෝ සංඥාස්කන්ධය තබා සෙසු අරූපධර්ම සංඛ්යාත වූ හෝ) අරූපී වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ රූපී වූත් අරූපී වූත් සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නො මැ රූපී වූ අරූපී නො වූ සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ ඒකත්වසංඥ වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ නානාත්වසංඥ වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ (කිසුණුපිරියම් විසින්) අල්පමාත්ර සංඥා ඇති සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණ බමුණෝ මරණින් මතු නිත්ය වූ (විපුල කසිණ විසින්) අප්රමාණ සංඥා ඇති සංඥාවත් වූ ආත්මය හෝ පනවති. යළි තෙල සංඥාසප්තකය (කිසිවෙක් අෂ්ටකය) හෝ ඉක්මවා ගිය කිසි කෙනෙකුන් අතුරෙන් ඇතැම් කෙනෙක් විඥානකසිණය අප්රමාණ ය අචල යයි කියති. මහණෙනි, තථාගතයෝ ඒ (දිට්ඨිගත දිට්ඨිපච්චය දිට්ඨාරම්මණ) ද විශිෂ්ටඥානයෙන් දන්නාහ.
යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්ය වූ සංඥා ඇති ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ (කරජරූපයෙන් හෝ කසිණ රූපයෙන්) රූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ අරූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ රූපී වූත් අරූපී වූත් සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ ඒකත්වසංඥී වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණ බමුණෝ මරණින් මතු නිත්ය වූ නානාත්වසංඥී වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ අල්පමාත්ර සංඥා ඇති සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ අප්රමාණ සංඥා ඇති සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. යළි මෙසේ කියන ලද තෙල සංඥාවන් අතුරෙන් යම් සංඥාවක් පරිශුද්ධ (නිරුපක්ලේශ) යැ උත්තම යැ අග්ර යැ අසදෘශ යැයි කියනු ලැබේ ද, ඉදින් රූපසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් අරූපසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් ඒකත්වසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් නානාත්වසංඥාවන් කෙරෙන් වේව’යි ඇතැම් කෙනෙක් කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය අප්රමාණ යැ අචල යැයි කියති. එහැම (සංඥාගතය) ප්රත්යයසමවායෙන් කරන ලද, ඖදාරික යැ, තෙල (සංඛත යයි කියන ලද) සංස්කාරයන් ගේ නිරෝධය ඇත් මැ ය. ‘තෙල නිවන ඇතැ’යි මෙසේ දැන එ සංඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූවාහ.
මහණෙනි, එහි (ඒ අටවැදෑරුම් අසංඥවාදයන් කෙරෙහි) යම් මහණ බමුණුකෙනෙක් මරණින් මතු නිත්ය වූ අසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ රූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ අරූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු අරූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ රූපීත් අරූපීත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ අසංඥී වූ ආත්මය පනවති. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්ය වූ සංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන් ගේ දෘෂ්ටිය ප්රතිබාහන කෙරෙත්. ඒ කුමක් හෙයින යත්: සංඥාව (ආබාධ අටින්) රෝගයෙකැ, සංඥාව (සදෝෂ අටින්) ගණ්ඩයෙකැ, සංඥාව (ඇතුළතැ පිවිසෙන අටින්) ශල්යයෙකැ, යම් සංඥාඅභාවයෙක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්රණීත යැ එහෙයින්. මහණෙනි, එ (දෘෂ්ටිගත ආදිය) ද තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ.
යම් ඒ භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්ය වූ අසංඥ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ රූපවත් හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ අරූපී වූ හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ රූපීත් අරූපීත් හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ අසංඥී ආත්මය පනවති. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මෙසේ කියා නම් මම රූපය හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාරයන් හැර විඥානයාගේ ප්රතිසන්ධිය හෝ ගතිය හෝ ච්යුතිය හෝ උපප්රාප්තිය හෝ වෘද්ධිය හෝ විරූඪ බව හෝ විපුල බව හෝ පනවන්නෙමි’යි. තෙල කරුණ නො වෙයි. ඒ හැම සංඥාගත යැ, ප්රත්යයන් විසින් සකස් කරනලද, එහෙයින් මැ ඖදාරික වෙයි. යළි සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’යි මෙසේ දැන එ සංඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ එ සංඛතය ඉක්මවූහ.