ඒ භවත් ගෞතමයෝ කලි සුප්‍රතිෂ්ඨිතපාද ඇතියහ, ඒ භවත් ගොයුමාණන්ගේ මෙ මහපුරිස්ලකුණ ද වෙයි.
ඒ භවත් ගෞතමයන්ගේ යට පාතෙලෙහි දහස් අර ඇති නිම්වළලු සියෝ නැබමඬුලු සියෝ, සර්‍වාකාර පරිපූර්‍ණ චක්‍රයෝ උපන්හ.
ඒ භවත් ගෞතමයෝ දික්විලුම් ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ දිගැඟිලි ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ මෘදු තරුණ හස්තපාද ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ ජාලහස්තපාද ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ (උඩ පිහිටි ගොප් ඇට ඇතියෙන්) උත්සඞ්ඛපාදයහ.
ඒ භවත් ගෞතමයෝ (එණිමෘගයන්ට බඳු ජඞ්ඝා ඇතියෙන්) එණිජඞ්ඝයහ.
ඒ භවත් ගෞතමයෝ සිටි වන සිටි සේක් මැ නො නැමෙන්නාහු දෙ අත්ලෙන් දෙ දණ පිරිමදින්නාහ.
ඒ භවත් ගෞතමයෝ (කෝෂයෙහි ගිලුණු අඞ්ගජාත ඇතියෙන්) කෝෂාවහිතවස්ත්‍රගුහ්‍ය ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ ස්වර්‍ණවර්‍ණයහ. කසුන් වන් සිවිපැහැ ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සියුම්සිවි ඇතියහ. සිවි සියුම් වන බැවින් රජස් හා දැලි කයෙහි නො ලැගෙයි.
ඒ භවත් ගෞතමයෝ ඒකෛකලෝමයහ, එක් එක් ලොමෙක් ලෝමකූපයෙහි උපන.
ඒ භවත් ගෞතමයෝ ඌර්ධ්වාග්‍රරෝම ඇතියහ. නිල්වන් අඳුන්වන් කුණ්ඩලාවර්‍ත ඇති දක්‍ෂිණාවර්‍ත වැ උපන් උඩු අක් ඇති රෝමයෝ උපන්හ.
ඒ භවත් ගෞතමයෝ බ්‍රහ්මයාට බඳු ඍජුගාත්‍ර ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සත් තැනෙක පරිපූර්‍ණ මාංශොත්සද ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සිංහයාට බඳු පූර්‍වාර්ධකාය ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ (මාංශයෙන් පරිපූර්‍ණ අන්තරාංශ ඇතියෙන්) විතාන්තරාංශයහ.
ඒ භවත් ගෞතමයෝ න්‍යග්‍රෝධපරිමණ්ඩලයහ. ඔබගේ කය යම් තාක් වේ ද, ඔබගේ ව්‍යාමය ඒ තාක් වෙයි. ඔබගේ ව්‍යාමය යම් තාක් වේ ද, ඔබගේ කය ඒ තාක් වෙයි.
ඒ භවත් ගෞතමයෝ සමවර්‍තස්කන්‍ධ ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ රාසග්‍රසාග්‍ර ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සිංහහනු ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ චත්‍වාරිංශද්දන්ත ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සමදන්ත ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ අවිවරදන්ත ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සුශුක්ලදංෂ්ට්‍රා ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ ප්‍රභූතජිහ්වා ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ බ්‍රහ්මස්වර ඇතියහ. කුරවිකෙවිල්ලන් ස්වර වැනි ස්වර ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ අභිනීලනේත්‍ර ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ (එ මොහොත උපන් රතුවස්සන්ගේ චක්‍ෂුර්ගණ්ඩ වැනි චක්‍ෂුර්ගණ්ඩ ඇතියෙන්) ගෝපක්‍ෂ්මයහ.
ඒ භවත් ගෞතමයන් ගේ දෙ බැම අතර සුදු මොළොක් පිලින් වැනි ඌර්ණාරෝමධා උපන.
ඒ භවත් ගෞතමයෝ උෂ්ණීෂශීර්‍ෂ ඇතියහ. මෙ ද මහාපුරුෂ වූ ඒ භවත් ගෞතමයන් ගේ මහාපුරුෂලක්‍ෂණ වෙයි. ඒ භවත් ගෞතමයෝ මෙකී දෙතිස් මහපුරිස් ලකුණින් සමන්‍වාගතයහ.
තවද ඒ භවත් ගෞතමයෝ යන්නාහු දකුණුපයින් මැ පළමු කොට ගමන් අරඹති, ඔබ ඉතා නුදුරෙහි පිය නඟති, ඉතා ළඟ පිය නො තබති, ඔබ ඉතා වෙලෙවි වැ නො යෙති, ඉතා ලැසි වැ නො යෙති, නො ද දණින් දණ ගටමින් යෙති, නො ද ගොප් ඇටයෙන් ගොප් ඇටය ගටමින් යෙති, ඔබ යන්නාහු (ගැඹුරු දියෙහි යනුවන් සෙයින්) කලවේ උඩට නො නමති, කලවේ යටට නො නමති, (තෙමුනු තැන පා තබන සෙයින්) තද කොට නො තබති, (පොතැලිරූ කෙළවන සෙයින්) ඔබ මොබ නො කෙළවති, යන්නා වූ භවත් ගෞතමයන් ගේ කලි යටිකය මැ සැලෙයි, නො ද කායබලයෙන් යෙති, භවත් ගෞතමයෝ කලි බලන්නාහු (ග්‍රීවා නො පෙරළා) හැම කයින් මැ බලති, ඔබ (නකත් ගණන සෙයින්) උඩ නො බලති, යට නො බලති, නො ද අවට බලමින් යෙති, වියදඬු පමණ (දුර) බලති, එතෙකුදු වත් එයින් මතු උන් වහන්සේ ගේ අනාවෘත ඥානදර්‍ශනය වෙයි.
ඔබ ඇතුළුගමට පිවිසෙන්නාහු කය උඩට නො නමති, කය යටට නො නමති, කාය සන්නාමන නො කෙරෙති, කය ඔබ මොබ නො නමති, ඔබ ඉතා දුර සිට ඉතා ළඟ සිට අසුනට නො පෙරළෙති, අතින් එල්බගෙන අස්නෙහි නො ද හිඳිති, අස්නෙහි කය නොද බහාලති, ඔබ ඇතුළුගමැ හුන්නාහු අත්කුකුසට නො පැමිණෙති, පාකුකුසට නො පැමිණෙති, දණින් දණ නඟාලා නො ද හිඳිති, ගොප් ඇටයෙන් ගොප්ඇටය නඟාලා නො හිඳිති, අත්ලෙන් හණුව ගෙන නො ද හිඳිති, ඔබ ඇතුළුගම හුන්නාහු බිය නො වෙති, නො ගැලෙති, නො සැලෙති, නො තැතිගනිති. ඔබ නො බන්නාහු නො ගැලෙන්නාහු නො සැලෙන්නාහු නො තැතිගන්නාහු පහවූ ලොමුදහ ඇත්තාහු වෙති. ඒ භවත් ගෞතමයෝ නිර්‍වාණාවර්‍ත සිත් ඇති වැ ඇතුළුගම හුන්නාහු වෙත්.