2. 3. 9.
චූළසකුලුදායි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩ වසන සේක. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක මහත් වූ පිරිවැජිපිරිස් හා සමග මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි වෙසෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරබත් වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත විය: “රජගහනුවරට පිඬුසිඟා යන්නට තව ඉතා උදැසන. මම් මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි සකුලුදායී පරිව්‍රාජක වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ”යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොරනිවාප නම් පරිව්‍රාජකාරාමය කරා එළැඹියහ. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක උද්ගත නාද ඇති උස්හඬින් මහහඬින් අනේකවිධ තිරිසන් කථා කියන මහත් වූ පරිව්‍රාජක පිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කවර තිරිසන් කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමැතියන් පිළිබඳ කථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ අන්නකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ ශූරකථා යැ වීථි පිළිබඳ කථා යැ කුම්භස්ථානකථා යැ පූර්‍වප්‍රේත කථා යැ නානාත්‍ව කථා යැ ලෝකාඛ්‍යානකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ මෙසේ වෘද්ධිහානි වෙයි යන කථා යි. සකුලුදායී පරිව්‍රාජක දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ යැ. දැක සිය පිරිස් සන්හුන් කරවී: “භවත්හු නිහඬ වෙත්වා, භවත්නි, තෙපි නහමක් හඬ නගවු. මේ ශ්‍රමණ ගෞතම එයි, එ ආයුෂ්මත් වූකලි නිහඬ බැව් කැමැත්තේ යැ. නිහඬ බැව්හි ගුණ කියන්නේ යැ. නිහඬ පිරිස් දැන එළැඹියයුතු කොට සිතා නම් මැනැවැ” යි. ඉක්බිති ඒ පිරිවැජියෝ නිහඬ වූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සකුලුදායී පරිව්‍රාජක වෙත එළැඹියහ. ඉක්බිති සකුලුදායී පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: “වහන්ස, භාග්‍යවත්හු වඩනා සේක්වා, වහන්ස, භාග්‍යවත්නට ස්වාගත යැ. වහන්ස, භාග්‍යවත්හු මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මෙකරුණ කළසේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳුනා සේක්වා, මෙ අස්න පනවන ලදැ” යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන් සේක. සකුලුදායී පරිව්‍රාජක ද එක්තරා මිටි අස්නක් ගෙන් එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සකුලුදායී පරිව්‍රාජකහට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
“උදායී, තෙපි දැන් කවර නම් කථායෙකින් යුක්ත වැ උන්නු ද? තොප විසින් කවර නම් අතුරු කථාවක් අඩාළ කරන ලද දැ?” යි. වහන්ස, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ උනුමෝ නම් තෙල කථාව තිබියේවා. වහන්ස, තෙල කථා භාග්‍යවතුන්ට පසු වැ ද අසන්නට දුර්‍ලභ නො වන්නේ යැ. වහන්ස, යම් කලෙකැ මම් මෙපිරිසට නො එළැඹෙන්නෙම් වෙම් ද එකල්හි මෙ පිරිස අනේකවිධ තිරිසන් කථා කියමින් හුන්නී වෙයි.
වහන්ස, මම් යම් කලෙකැ මේ පිරිසට එළැඹෙන්නෙම් වෙම් ද එකල්හි මේ පිරිස ‘ශ්‍රමණ උදායී අපට යම් දහමක් දෙසන්නේ ද එ දහම ඇපි අසම්හ’යි මාගේ මැ මුහුණ බලමින් හුන්නී වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් කෙලෙක මේ පිරිසට පැමිණිසේක් ද, එතැන් පටන් මමත් මෙ පිරිසත් ‘බුදුහු අපට යම් දහමක් දෙසනසේක් ද, ඇපි ඒ දහම අසම්හ’ යි භාග්‍යවතුන් වහන්සේගේ මැ මුහුණ බලමින් හුන්නමෝ වම්හ.
එසේ වී නම් උදායී, යම් කරුණෙකින් මට ධර්‍මදේශනාව වටහා නම් එ කරුණෙහි ලා තොපට මැ වැටහෙත්ව’යි. වහන්ස, හීයේ පෙරෙයිදා දිනයන්හි සර්‍වදර්ශී වූ සර්‍වඥ ‘ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදි වරන්නා වූ ද මට හැමදා හැම කල්හි ඥානදර්‍ශනය එළැඹ සිටියේ යැ’යි නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරනුයේ, හේ මා විසින් පූර්‍වාන්තය ඇරැබැ පැන පුළුවුස්නා ලද්දේ අනෙකෙකින් අනෙකෙක් වසාලී යැ, කථාව බැහැරට නැමී යැ, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙළේ යි. වහන්ස, ඒ මට යමෙක් මෙ දහම්හි සමත්වී නම් ‘අහෝ යහඟ එ බුදුහු. අහෝ යහඟ එසුගත්හු’ යයි භාග්‍යවතුන් මැ ඇරැබැ ප්‍රීති උපනැ’යි.
උදායී, යමෙක් තොප විසින් පූර්‍වාන්තය ඇරැබැ පැන පුළුවුස්නා ලද්දේ අනෙකෙකින් අනෙකක් වැසී ද කථාව බැහැරට නැමී ද, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙළේ ද, ‘ඇවිදිනා වූ සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද මට හැමදා හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ යැ’යි නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කෙරෙන තෙල සර්‍වදර්ශී සර්‍වඥ කවරෙක් දැ?යි. වහන්ස, ‘නිගණ්ඨනාත පුත්‍ර යැ’යි.
උදායී, යමෙක් අනේකවිධ වූ පූර්වේනිවාස සිහි කෙරේ ද, හේ කෙසේ ද යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්වේනිවාස සිහි කරන්නේ ද, හෙ තෙම හෝ පූර්‍වාන්තය ඇරැබැ මා පැන පුළුවුස්නේ යැ, මම හෝ පූර්‍වාන්තය ඇරැබැ ඔහු පැන පුළුවුස්නෙමි. හේ හෝ පූර්‍වාන්තය ඇරැබැ මාගේ පැන විසඳුමින් සිත් ගන්නේ යැ, මම් හෝ පූර්‍වාන්තය ඇරැබැ ඔහුගේ පැන විසඳුමින් සිත් ගන්නෙමි.
උදායී, යමෙක් වනාහි මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නො මනා පැහැසටහන් ඇති සුන්‍දර ගති ඇති නපුරු ගති ඇති සත්ත්‍වයන් දක්නේ ද ... කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන් දැනගන්නේ ද, හෙතෙම් හෝ අපරාන්තය ඇරැබැ මා පැන පුළුවුස්නේ යැ, මම් හෝ අපරාන්තය ඇරැබැ ඔහු පැන පුළුවුස්නෙමි. හේ හෝ අපරාන්තය ඇරැබැ මාගේ පැන විසඳුමින් සිත් ගන්නේ යැ, මම් හෝ අපරාන්තය ඇරැබැ ඔහුගේ පැන විසඳුමින් සිත් ගන්නෙමි. (පහදනෙමි) එතෙකුදු වත් උදායී, පූර්‍වාන්තය සිටීවා, අපරාන්තය සිටීවා. තොපට දහම් දෙසනෙමි. “මේ (අවිද්‍යාදි ප්‍රත්‍යය) ඇති කල්හි මේ (සංස්කාරාදි ඵල) වෙයි, මේ (අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ) උපැත්මෙන් මේ (සංස්කාරාදි ඵලය) උපදි. මේ (අවිද්‍යාදි ප්‍රත්‍යය) නැති කල්හි මේ (සංස්කාරාදි ඵල) නො වෙයි. මේ (අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ) නිරෝධයෙන් මේ (සංස්කාරාදි ඵල) නිරුද්ධ වේ” යයි.