2. 3. 8.
සමණමණ්දඩිකා සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාස කරන සේක. එසමයෙහි සමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන නම් පරිව්රාජක (විවිධ දෘෂ්ටිවාදීන් එක් වැ සමය පවසන හෙයින්) සමයප්පවාදක නම් වූ (තිඹිරිරුකින් පිරිකෙව් කරනලද බැවින්) තින්දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි පරිව්රාජකයන් සත්සියක් පමණ වූ මහත් පිරිවැජි පිරිස් හා සමග වෙසෙයි.
එකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටු භාග්යවතුන්වහන්සේ දක්නට දෙවෙන්දවහල්හි සැවැත්නුවරින් නික්මිණ. ඉක්බිති පඤ්චකඞ්ග වඩුදෙටු හට මෙ සිත් විය: “තව බුදුන් දක්නට නො කලි, බුදුහු විවික්තයහ. මනවඩනා භික්ෂූන් ද දක්නට නො කලි, මනවඩනා භික්ෂූහු විචික්තයහ. මම සමයප්පවාදක වූ තින්දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි සමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්රාජක වෙත එළැඹෙන්නෙම් නම් මැනවැ”යි. ඉක්බිති පඤ්චකඞ්ග වඩුදෙටු සමයප්පවාදක වූ තින්දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි සමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්රාජක වෙත එළැඹියේ යැ.
එසමයෙහි සමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්රාජක උද්ගතනාද ඇති උස්හඬින් මහහඬින් නන්වැදෑරුම් තිරිසන්කථා කියන මහත් වූ පිරිවැජි පිරිස් හා සමග හුන්නේ වෙයි. කවර තිරිසන් කථා ද යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාර පිළිබඳ කථා යැ පාන පිළිබඳ කථා යැ වස්ත්ර පිළිබඳ කථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්ධ කථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්රීකථා යැ ශූරකථා යැ වීථි පිළිබඳ කථා යැ කුම්භස්ථානකථා යැ පූර්වප්රේතකථා යැ සෙසු නන්වැදෑරුම් කථා යැ ලෝකායතකථා යැ සමුද්රාඛ්යානකථා යැ භවාභවය මෙසේ යැ යන කථා යැ’යි හෝ යි.
සමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්රාජක පඤ්චකඞ්ග වඩුදෙටු දුරින් මැ එන්නා දුටුයේ යැ. දැක සියපිරිස් සන්හුන් කරවී: “භවත්හු, නිහඬ වෙත්වා, භවත්නි තෙපි නහමක් හඬ නඟවු, මේ ශ්රමණගෞතමයන් ගේ ශ්රාවක පඤ්චකඞ්ගස්ථපති එයි. යම් පමණ ශ්රමණගෞතමයන් ගේ ශ්රාවක වූ හෙළපිළී හඳනා ගැහැවියෝ සැවැත්නුවර වෙසෙත් ද මේ පඤ්චකඞ්ගස්ථපති ඔවුනතුරෙහි එක්තරයෙක. තවද ඒ ආයුෂ්මත්හු නිහඬයහ, නිහඬ වූ බුදුරදුන් විසින් විනීතයහ, නිහඬ බැව්හි ගුණකියනුවහ. නිහඬ පිරිස් දැන එළැඹියැයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පරිව්රාජකයෝ නිහඬ වූහ.
ඉක්බිති පඤ්චකඞ්ග වඩුදෙටු සමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්රාජක කරා එළැඹියේ යැ. එළැඹ සමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්රාජක හා සමඟ සතුටු විය. සතුටු වියවුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග වඩුදෙටුහට සමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්රාජක තෙල කරුණ කී යැ ;
“ස්ථපතිය, මම් සතර කරුණෙකින් සමන්වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්රාප්තියට පත් වාදයුදට නො නිසි (වාදයෙන් නො සැලිය හෙන) ශ්රමණ යයි දක්වමි (පනවමි). කවර සතර කරුණෙකින යත්: ස්ථපතිය, මෙලොවැ කිසිවෙක් කයින් පව්කම් නො කෙරේ ද, ලාමක වචන නො කියා ද, ලාමක සංකල්ප නො කෙරේ ද, ලාමක ආජීව නො කෙරේ ද, ස්ථපතිය, මම් මෙ සතර කරුණින් සමන්වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්රාප්තියට පත් වාදයුදට නො නිසි ශ්රමණ යැ යි පනවමි.
එකල්හි පඤ්චකඞ්ගස්ථපති ශ්රමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්රාජක ගේ භාෂිතයට නො මැ සතුටු විය, නො ද ප්රතික්ෂේප කෙළේ යැ. අභිනන්දන නො කොට ප්රතික්ෂේප නො කොට හුන්සනෙන් නැඟී ‘භාග්යවතුන් වහන්සේ වෙත තෙල භාෂිතයාගේ අර්ත්ථය දනිමී නික්ම ගියේ යැ. ඉක්බිති පඤ්චකඞ්ගස්ථපති භාග්යවතුන් වහන්සේ කරා එළැඹ භාග්යවතුන් වැඳ එකත්පස්වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඞ්ගස්ථපති සමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්රාජක හා සමග යම් පමණ කථා සල්ලාපයෙක් වී ද, එ හැම භාග්යවතුන් වහන්සේට දැන්වී. මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ පඤ්චකඞ්ගස්ථපතිහට තෙල කරුණ වදාළහ: යම්සේ සමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්රාජක ගේ වචනය වේ ද, එසේ ඇති කල්හි ස්ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමර පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්රාප්තියට පත් අයෝධ්යශ්රමණ වන්නේ යැ. ස්ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (සත්කාය පරකාය විසින්) කායවිඥානයෙකුදු නො වෙයි, වැළි ස්පන්දනමාත්රය හැර කොයින් කයින් පව්කම් කරන්නේ ද? ස්ථපතිය, බාල වූ උත්තානසෙය්යක වූ ළදරු කුමරුහට (මිථ්යා සම්යක් භේද) වචන දු නො වෙයි. යළි හැඬීම් පමණ මිස කොයින් ලාමක වචන කියන්නේ ද? ස්ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (මිථ්යා සම්යක් භේද) සංකල්ප දු නො වෙයි. වැළි විකුජන (හැඬීම් සිනාසීම්) මාත්රයක් මිස කොයින් ලාමක සංකල්ප කරන්නේ ද? ස්ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (මිථ්යා සම්යක් භේද ඇති) ආජීව ද නො වෙයි. වැළිදු මව ගේ තනකිරි මිස කොයින් ලාමක ආජීව කරන්නේ ද? ස්ථපතිය, සමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්රාජක ගේ වචනය යම්සේ ද එසේ ඇති කල්හි බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමර පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තම ප්රාප්තියට පැමිණි අයෝධ්යශ්රමණ වන්නේ යි.
ස්ථපතිය, මම් වූකලි සතර කරුණෙකින් සමන්වාගත පුරුෂ පුද්ගල නො ද පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් නැති උත්තමප්රාප්තියට නො පත් අයෝධ්ය (වාද යුදයෙන් නො සැලිය හෙන) ශ්රමණ යැ’යි පනවමි. එතෙකුදු වත් (හේ මේ බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරු වෙසෙසා (යට කොට) සිටී. කවර සතර කරුණෙකින යත්: ස්ථපතිය, මෙලොව (කිසිවෙක්) කයින් පව්කම් නො කෙරෙයි, ලමු බස් නො බෙණෙයි, ලාමක සංකල්ප නො කෙරෙයි, ලාමක ආජීව නො කෙරෙයි. ස්ථපතිය, මම මෙ සතර කරුණින් සමන්වාගත පුරුෂ පුද්ගල නො ද පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් නැති උත්තම ප්රාප්තියට නො පත් අයෝධ්යශ්රමණ යැ’යි දක්වමි. එතෙකුදු වත් (හෙ තෙම) මේ බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරු වෙසෙසා සිටී.