2. 3. 7.
මහා සකුලුදායී සූත්රය
මා විසින් මෙසේ අසන ලද. එක් සමෙයක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසනසේක. එසමයෙහි බොහෝ වූ ප්රසිද්ධ ප්රසිද්ධ පරිව්රාජකයෝ මොරනිවාප නම් වූ පරිව්රාජකාරාමයෙහි වෙසෙති. හේ මෙසේයැ: “අන්නභාර ද වරධර ද සකුලුදායී පරිව්රාජක ද අන්යවූ ද ප්රසිද්ධ ප්රසිද්ධ පරිව්රාජකයෝ දැ” යි. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන රජගහනුවර පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේට මෙබඳු සිතෙක් විය: “රජගහනුවර පිඬු පිණිස සරනට තව ඉතා අලුයම. මම් මොරනිවාප නම් වූ පරිව්රාජකාරාමයෙහි සකුලුදායී පරිව්රාජක කරා එළැඹෙන්නෙම් නම් යෙහෙකැ” යි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මොරනිවාප නම් වූ පරිව්රාජකාරාමය වෙත එළැඹියහ. එසමයෙහි සකුලුදායී පරිව්රාජක උද්ගතනාද ඇති උස්හඬ මහහඬ නඟන අනේකප්රකාර තිරශ්චීනකථා කරන මහපිරිවැජිපිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කෙබඳු කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනා පිළිබඳ කථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාරකථා යැ පානකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්ධකථා යැ ඥාතීන් පිළිබඳ කථා යැ යානකථා යැ ග්රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්රීන් පිළිබඳ කථා යැ ශූරයන් පිළිබඳ කථා යැ වීථි පිළිබඳ කථා යැ කුම්භස්ථාන (පැන්තොට) කථා යැ පූර්වප්රේත(අතීතඥාති) කථා යැ නන් වැදෑරුම් නිරර්ත්ථකකථා යැ ලෝකායතකථා යැ සමුද්රාඛ්යානකථා යැ (ශාස්වත උච්ඡේදාදී) භවාභවකථා යැ යන මේ කථා යි.
සකුලුදායී පිරිවැජි දුරින් මැ වඩනා භාග්යවතුන් වහන්සේ දුටුයේ යැ. දැක සියපිරිස් සන්සුන් කරවී: “භවත්නි, නිහඬ වෙත්වා, භවත්හු නහමක් හඬනගවු, මේ ශ්රමණ ගෞතමයෝ එති, ඒ ආයුෂ්මත්හු වූ කලී නිහඬ බව කැමැතියහ, නිහඬබැව්හි ගුණකියනුවහ. නිහඬ පිරිස දැන එළැඹියැයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පිරිවැජියෝ නිහඬ වූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ සකුලුදායී පිරිවැජි කරා එළැඹියහ. එකල්හි සකුලුදායී පිරිවැජි භාග්යවතුන්ට තෙල වදන් කී: ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ වඩනා සේක්වා, ස්වාමීනි භාග්යවතුන්ට ස්වාගත යැ, ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මේ පරියාය කළහ, ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ හිඳුනාසේක්වා මේ අස්න පනවනලදැ”යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන්සේක. සකුලුදායී පිරිවැජි එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස්වැ හින. එකත්පස් වැ හුන් සකුලුදායී පිරිවැජිහට භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
උදායී, දැන් තෙපි කවර නම් කථාවෙකින් යුක්ත වැ උන්හු ද? තොප විසින් කවර නම් කථාවක් අඩාළ කරනලද දැ?යි. වහන්ස, තෙල කථා තිබියේවා, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ උන්නමෝ නම් වහන්ස, තෙල කථා පසුවත් භාග්යවතුන් වහන්සේට ඇසීමට දුලබ නො වෙයි. වහන්ස, ඊයේ පෙරෙයිදා දිනයන්හි කුතුහලශාලායෙහි රැස්වැ හුන් නානාතීර්ත්ථක ශ්රමණබ්රාහ්මණයන් අතුරෙහි මේ අතුරු කථාව උපන: “භවත්නි, අඟුමගද දෙරටවැසියනට ඒකාන්තයෙන් ලාභයෙක. භවත්නි, අඟුමගද දෙරටවැසියනට ඒකාන්තයෙන් මනා ලාභයෙක. යම් තැනෙක ප්රව්රජිත සමූහ සඞ්ඛ්යාත සඞ්ඝයා ඇති ආචාරගණ ඇති ගණැඳුරු වූ ප්රසිද්ධ වූ නැඟීසිටි යශස් ඇති ලබ්ධිකර වූ බොහෝ දෙනාට මැනැවැ’යි සම්මත වූ මේ ශ්රමණබ්රාහ්මණයෝ රජගහනුවර වස්සාවාස කොට ඔසළෝ (රැස්වූහු) ද ඒ අඟුමගද දෙරට යි. මේ පූර්ණකාශ්යප ද සඞ්ඝයා ඇත්තේත් ගණ ඇත්තේත් ගණාචාර්ය්ය වූයේත් ප්රසිද්ධ වූ යශස් ඇති තීර්ත්ථඞ්කර වූයේත් බොහෝදෙනාට මැනැවැ යි සම්මත වූයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යැ. මේ මක්ඛලිගෝසාලද ... අජිත කේසකම්බලී ද … පකුධ කච්චායන ද ... සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත ද … නිගණ්ඨ නාථපුත්ත ද සඞ්ඝයා ඇත්තේත් ගණයා ඇත්තේත් ගණැදුරු වූයේත් ප්රසිද්ධ වූ යශස් ඇති තීර්ත්ථඞ්කර වූයේත් බොහෝ දෙනාට මැනැවැ’යි සම්මත වූයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යැ. මේ ශ්රමණගෞතම ද සඞ්ඝයා ඇත්තේත් ඇති ගණාචාර්ය්ය වූයේත් ප්රකට වූ යශස් ඇති ලබ්ධිකර වූ බොහෝදෙනාට මැනැවැ’යි සම්මත වූයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යි. මේ සඞ්ඝයා ඇති ගණයා ඇති ගණඳුරු වූ ප්රකට වූ යශස් ඇතිවූ ලබ්ධිකර වූ බොහෝදෙනාට මැනැවැ’යි සම්මත වූ භවත් මහණබමුණන් අතුරෙහි කවරෙක් ශ්රාවකයන් විසින් සත්කෘත ගුරුකෘත මානිත පූජිත වේ ද? කෙසේ නම් ශ්රාවකයෝ සත්කාර කොට ගරුකාර කොට ඇසිරි කොට වෙසෙත් දැ? යි.
එහි ඇතැම් කෙනෙක් මෙසේ කීහ: මේ පූර්ණකාශ්යප සඞ්ඝයා ඇත්තේත් ගණ ඇත්තේ ද ගණාචාර්ය්ය ද වෙයි, ප්රසිද්ධ යැ යශස් ඇත්තේ යැ ලබ්ධිකර යැ බොහෝ දෙනා විසින් සාධුසම්මත යි. එතෙකුදු වත් හේ ශ්රාවකයන් විසින් සත්කෘත නො වෙයි, ගුරුකෘත නො වෙයි, මානිත නො වෙයි, පූජිත නො වෙයි. ශ්රාවකයෝ, පූරණකාශ්යප සත්කාර කොට ගරුකාර කොට නො ද ඇසිරි කොට වෙසෙත්. පෙර පූරණකාශ්යප නොයෙක් සියගණන් ඇති පිරිස්හි දහම් දෙසයි. එහි පූරණකාශ්යපගේ එක්තරා ශ්රාවකයෙක් “භවත්නි තෙල කරුණ නහමක් පූරණකාශ්යප විචාරව, තෙල එය නො දනී, ඇපි එය දනුම්හ, තෙල කරුණ අප විචාරව, ඇපි තෙල කරුණ භවත්නට ප්රකාශ කරම්හ”යි, හඬ නැඟී යැ. පෙර පූරණකාශ්යප දෙඅත් බැඳ හඬ නඟනුයේ “භවත්හු නිහඬ වෙත්ව, භවත්හු නහමක් හඬ නඟවු, තුලුහු භවතුන් නො පුළුවුස්ති, තුලුහු අප පුළුවුසිත්, අපි තුලුනට ප්රකාශ කරම්හ”යි හඬ නඟනුයේ අවකාශ නො ලැබෙයි. පූරණකාශ්යපගේ බොහෝ ශ්රාවකයෝ ද වාද නඟා නික්ම ගියහ: “තෙපි මෙ සස්න නො දන්නාහු යැ, මම මෙ සස්න දනිමි, කිම තෙපි මෙ සස්න දන්නහු ද? තෙපි මිථ්යාප්රතිපන්නවවු,