2. 3. 6.
සන්දක සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර නිසා ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සන්දක පරිව්රාජක පන්සියයක් පමණ වූ මහත් පිරිවැජි පිරිස් හා සමග පුලිල ගුහායෙහි වෙසෙයි. එකල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ සවස්වේලෙහි පිළිසලනින් නැඟී සිටිසේක් ‘ ඇවැත්නි, දේවකටැසොබ්හ (වැසිදියෙන් වළහුන් හෙබ) යම් තැනෙක් ද එහි ගුහාදර්ශනයට යම්හ’යි භික්ෂූන් ඇමතූසේක. ‘එසේ යැ ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට පිළිවදන් දුන්හ. එකල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ බොහෝ භික්ෂූන් සමග දේවකටසොබ්හය කරා එළඹිසේක. එසමයෙහි සන්දක පිරිවැජි තෙම උද්ගතනාද ඇති උස්හඬ මහහඬ නඟන අනේකප්රකාර තිරශ්චීන කථා කරන මහත් පිරිවැජි පිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කෙබඳු කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනා පිළිබඳ කථා භය කථා යැ යුද්ධ කථා යැ ආහාර කථා යැ පාන කථා යැ වස්ත්ර කථා යැ ශයන කථා යැ මාලා කථා යැ ගන්ධ කථා යැ ඥාතීන් පිළිබඳ කථා යැ යානකථා යැ ග්රාම කථා යැ නිගම කථා යැ නගර කථා යැ ජනපද කථා යැ ස්ත්රීන් පිළිබඳ කථා යැ ශූරයන් පිළිබඳ කථා යැ වීථි කථා යැ කුම්භස්ථාන (පැන්තොට) කථා යැ (කුම්භදාසීන් පිළිබඳ හෝ කථා යු ) පූර්වප්රේතකථා යැ නන් වැදෑරුම් නිරර්ත්ථකකථා යැ ලෝකායත කථා යැ සමුද්රාඛ්යානකථා යැ (ශාස්වත උච්ඡේදාදී සවැදෑරුම්) භවාභවකථා යැ යන මේ යි.
සන්දක පිරිවැජි තෙමේ දුරින් මැ වඩනා ආයුෂ්මත් ආනන්ද තෙරුන් දුටුයේ යැ. දැක සියපිරිස් සන්හුන් කරවී ය, “භවත්නි, නිශ්ශබ්ද වෙත්වා, භවත්හු නහමක් ශබ්ද කරවු, මේ ශ්රමණ ගෞතමයන්ගේ ශ්රාවක වූ මේ ශ්රමණ ආනන්දයෝ පැමිණෙති, කොසඹෑනුවර ශ්රමණගෞතමයන්ගේ යම් පමණ ශ්රාවකයෝ වෙසෙත් ද, මේ ශ්රමණ ආනන්දයෝ ඔවුනතර එක්තරා කෙනෙක, ඒ ආයුෂ්මත්හු වැළිත් නිහඬ බව කැමැත්තා හ, නිහඬ වූ බුදුරදුන් විසින් විනීතයහ. නිහඬ තැන්හි ගුණ කියන්නාහ, නිහඬපිරිස දැන එළැඹියයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පරිව්රාජකයෝ නිහඬ වූහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ සන්දක පරිව්රාජක වෙත එළැඹියැහ. ඉක්බිති සන්දක පරිව්රාජක ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට තෙල කී: “භවත් ආනන්දයෝ පැමිණෙන සේක්වා, භවත් ආනන්දයනට ස්වාගත යැ, භවත් ආනන්දයෝ මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මේ පරියාය (කරුණ) කළහ,
භවත් ආනන්දයෝ වැඩහිඳුනා සේක්වා, මේ අස්න පනවනලදැ”යි. ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ පනවනලද අස්නෙහි වැඩහුන්හ. සන්දක පරිව්රාජක එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සන්දක පරිව්රාජකහට ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙලවදන් කීහ: “සන්දකයෙනි, දැන් කවර නම් කථාවෙකින් යුක්ත වැ උන්හු ද, තොප විසින් කවර නම් කථාවක් අඩාළ කරනලද දැ?” යි. භවත් ආනන්දයෙනි, තෙල කථා තිබේවා, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ හුන්නමෝ නම් තෙල කථාව භවත් ආනන්දයනට පසු වත් ඇසීමට දුලබ නො වෙයි. භවත් ආනන්දයනට මැ ස්වකීය ආචාර්ය්යවංශයෙහි දැහැමි කථා වැටහේව’යි ආරාධනා කරමි. “එසේ වී නම් සන්දකයෙනි, අසව, මොනොවට මෙනෙහි කරව, කියමි”යි . “එසේ යැ භවත්නි”යි සන්දක පරිව්රාජක ආයුෂ්මත් අනඳ තෙරුන්ට පිළිවදන් ඇස්වී. ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ තෙල කරුණ වදාළහ:
“සන්දකයෙනි, සත්ත්වයන්ගේ ආශයානුශය දන්නා වූ ඥේයධර්මයන් දක්නා වූ ප්රත්යයාදීන්ට නිසි හෙයින් අර්හත් වූ සත්යාවබෝධය කළ හෙයින් සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්යවත්හු විසින් සතර අබ්රම්සරවස් කෙනෙක් වදාරනලද්දාහ, අස්වැසිලි රහිත වූ සතර බ්රම්සරවස් කෙනෙක් ද වදාරනලද්දාහ: “යම් බ්රහ්මචරිය වාසයෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ ය, වසනුයේ හෝ න්යාය වූ අනවද්යධර්මය සම්පාදනය නො කරන්නේ යැ”යි.
භවත් ආනන්දයෙනි, නුවණින් දන්නා වූ ඇසින් දක්නා වූ අර්හත් සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්යවතුන් විසින් කවර සතර අබ්රහ්මචරියවාස කෙනෙක් වදාරනලද්දාහු ද, “යම් තැනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්යාය වූ අනවද්යධර්මය සම්පාදනය නො කරන්නේ දැ”යි.
සන්දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: “දුන් දෙය ඵල නැත, පූජායෙහි ඵල නැත, පඬුරු කොට අළ දැයෙහි ඵල නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්වයෝ නැත, සම්යග්ගත වූ සම්යක් ප්රතිපන්න වූ මහණබමුණු කෙනෙක් නැත, ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැ දැක ප්රත්යක්ෂ කොට පවසත් නම් ඔහු යි. මේ පුරුෂ සතර මහාභූතයෙන් උපන. යම් කලෙක කලුරිය කෙරේ ද එකල පෘථිවිධාතුව බාහිර පෘථිවිධාතුවට එක් වෙයි, අනුව යෙයි, අධ්යාත්මික අබ්ධාතුව බාහිර අබ්ධාතුවට එක් වෙයි, අධ්යාත්මික තේජෝධාතුව බාහිර තේජෝධාතුවට එක්වෙයි, අධ්යාත්මික වායෝධාතුව බාහිර වායෝධාතුවට එක් වෙයි, ඉන්දියයෝ ආකාශධාතුවට දිවෙති, හොත් ඇඳ පස්වනු කොට ඇති පුරුෂයෝ සිව් දෙනෙක් මළහු ගෙන යති, සොහොන දක්වා ගුණපදයෝ පැනෙති, පරෙවිපැහැ ඇති ඇට ශේෂ වෙයි, දානාදී සත්කාරයෝ භස්මය අන්ත කොට ඇත්තාහ, යම් දීමෙක් වේ ද එය බාලයන් විසින් පනවනලද්දෙක, යම් කෙනෙක් ආස්තිකවාද පවසත් ද එය උන් ගේ සිස් වූ මෘෂායෙක විලාපයෙක, බාලයෝ ද පණ්ඩිතයෝ ද කය බිඳීමෙන් උච්ඡේදයට විනාශයට පැමිණෙති, මරණින් මතු නො වෙත්” යයි. සන්දකය, විඥ වූ පුරුෂ එහිලා මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක: දෙනලද්දෙහි ඵල නැත, පුදන ලද්දෙහි ඵල නැත, පඬුරු කොට අළ දැයෙහි ඵල නැත, සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵලවිපාකයෙක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්වයෝ නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැ දැක ප්රත්යක්ෂ කොට පවසත් ද එබඳු වූ සම්යග්ගත සම්යක්ප්රතිපන්න මහණබමුණු කෙනෙක් නැත, මේ පුරුෂ සතර මහාභූතයෙන් උපන, යම් කලෙක කලුරිය කෙරේ ද, එකල පෘථිවිධාතුව පෘථිවිධාතුවට පැමිණෙයි, අබ්ධාතුව ධාතුව අබ්ධාතුවට ධාතුවට පැමිණෙයි, තේජෝ ධාතුව ධාතුව තේජෝධාතුවට ධාතුවට පැමිණෙයි,