2. 3. 5.
මාගන්දිය සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාෂදම්ය නම් වූ කුරුරටවැසියන්ගේ නියම්ගම්හි භාරද්වාජගෝත්ර බමුණුගේ අග්නි හෝත්රශාලායෙහි තණඇතිරියෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරබත් වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන කල්මාෂදම්යනිගමයට පිඬු පිණිස පිවිසියහ. කල්මාෂදම්යයෙහි පිඬුසිඟා පසුබත් වේලෙහි පිඬුවායෙන් නැවැතිසේක් එක්තරා වනළැහැබක් කරා දිවාවිහාර පිණිස එළැඹියහ. එ වනළැහැබට වැද එක්තරා රුක්මුලෙකැ දිවාවිහාරයෙන් වැඩහුන් සේක.
එකල්හි මාගන්දිය පරිව්රාජක ජඞ්ඝාවිහරණයෙහිලා සක්මන් කරනුයේ හැසිරෙනුයේ භාරද්වාජගෝත්රයෙහි වූ බමුණුහුගේ ගිනිදෙවොල කරා එළැඹියේ යැ. මාගන්දිය පරිව්රාජක භාරද්වාජගෝත්ර බ්රාහ්මණයාගේ ගිනිදෙවොලෙහි පනවනලද තණඇතිරියක් දුටුයේ යැ. දැක භාරද්වාජගෝත්ර බමුණුහට තෙල කී යැ: භවත් භාරද්වාජයන්ගේ ගිනිදෙවොලෙහි මේ තණඇතිරිය කවරක්හට පනවනලද ද? ‘ශ්රමණයක්හට අනුරූප වූ ශයනයෙකැ’යි සිතමි.
භවත් මාගන්දිය, ශාක්යපුත්ර වූ ශාක්යකුලයෙන් නික්ම පැවැදි වූ ගෞතම නම් ශ්රමණ කෙනෙක් ඇත. ඒ භාග්යවතුන් ගෞතමයන්ගේ මෙබඳු කල්යාණ වූ කීර්තිශබ්දය උස් වැ පැනනැංගේ යැ: “ඒ භාග්යවත්හු මෙකරුණෙන් අර්හත් වූහ, සම්යක්සම්බුද්ධයහ, විද්යා චරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදුහ, අනුත්තර වූ පුරුෂදම්යසාරථිහ, දෙව්මිනිසුනට ශාස්තෘ වූහ, බුද්ධයහ, භගවත් වූහ” යි ඒ භවත් ගෞතමයන්ට තෙල යහන පනවනලදැ’යි. භවත් භාරද්වාජය, ඇපි හතවෘද්ධි ඇති ඒ භවත් ගෞතමයන්ගේ යහන දුටුවමෝ ද, ඒකාන්තයෙන් නො නිසි දැක්මක් දුටුවම්හ’යි. මාගන්දිය, තෙල වචනය රකුව, මාගන්දිය තෙල වචනය රකුව. ඒ භවත් ගෞතමයන්හට බොහෝ වූ මැ ක්ෂත්රියපණ්ඩිතයෝ ද බ්රාහ්මණපණ්ඩිතයෝ ද ගෘහපතිපණ්ඩිතයෝ ද ශ්රමණපණ්ඩිතයෝ ද අතිශයින් ප්රසන්න වූහ. පරිශුද්ධ වූ අනවද්ය වූ හේතුධර්මයහි විනීතයහ’යි. භවත් භාරද්වාජය, ඇපි ඒ භවත් ගෞතමයන් හමුයෙහි නමුදු දක්නමෝ නම් හමුයෙහි දු ඔවුන්ට (මෙසේ) කියම්හ: “ශ්රමණ ගෞතමයෝ හතවෘද්ධි ඇත්තාහ”යි. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් අපගේ සූත්රයෙහි මෙසේ එන්නේ ද එහෙයිනි. ඉදින් භවත් මාගන්දියහට එය බරෙක් නො වේ නම් ශ්රමණගෞතමයන්හට තෙල සැල කරන්නෙමි’යි. (මා රක්නට) අනුත්සුක වැ භවත් භාරද්වාජ මා විසින් කියනලදුයේ මැ කියාව’යි.
බුදුහු විශුද්ධ වූ ඉක්මගිය මිනිස්බව ඇති දිවසෝධයින් මාගන්දිය පරිව්රාජක සමග (කරනලද) භාරද්වාජගෝත්ර බ්රාහ්මණයාගේ මේ කථාසල්ලාපය ඇසූසේක. ඉක්බිති බුදුහු සවස්කාලයෙහි ඵලසමවතින් නැඟී සිටි සේක් භාරද්වාජගෝත්ර බ්රාහ්මණයාගේ ගිනිදෙවොල කරා එළැඹි සේක. එළැඹ පනවනලද්දාවූ තණඇතිරියෙහි වැඩ හුන් සේක. ඉක්බිති භාරද්වාජගෝත්ර බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙකැ හින. බුදුහු එකත්පස් වැ හුන් භාරද්වාජගෝත්ර බමුණුහට මේ වදාළහ. භාරද්වාජය, මාගන්දිය පරිව්රාජක සමග මේ තණඇතිරිය මැ අරභයා තොපගේ කිසියම් කථාසල්ලාපයෙක් වී දැ? යි වදාළහ. මෙසේ වදාළ කල්හි භාරද්වාජ බ්රාහ්මණ (ප්රීතිසංවේගයෙන්) කම්පිත වූයේ හටගත් ලොමුදහ ඇත්තේ භාග්යවතුන් වහන්සේට මෙපවත් කි යැ: “ඇපි මෙය මැ භවත් ගෞතමයන් වහන්සේට සැලකරන රිසියම්හ. එතෙකුදු වත් ගෞතමයන් වහන්සේ නො කියන ලද්ද මැ කීහ’යි. භාරද්වාජගෝත්ර බ්රාහ්මණයා සමග භාග්යවතුන් වහන්සේ මේ අතුරු කථාව කොට අඩාළ විය. එකල්හි මාගන්දිය පරිව්රාජක ජඞ්ගාවිහරණයෙහි සක්මන් කරනුයේ හැසිරෙනුයේ භාරද්වාජ බ්රාහ්මණයාගේ ගිනිදෙවොලෙහි භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස්වැ හුන් මාගන්දිය පරිව්රාජකයන්හට බුදුහු තෙල වදාළසේක.
“මාගන්දිය, ඇස වැළිත් රූපය ආරාම කොට ඇත. රූපයෙහි ඇලුණේ යැ. රූපයෙන් පිනවනලද. ඒ චක්ෂුස තථාගතයන් විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නාලද, සංවර කරනලද වෙයි. ඒ චක්ෂුස සංවරය පිණිස දහම් දෙසන සේක. මාගන්දිය තොප විසින් මේ සඳහා තෙල ‘ශ්රමණ ගෞතම වෘද්ධිනාශකයෙකැ’යි කියන ලදදැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ සඳහා මැ ‘ශ්රමණ ගෞතම හතවෘද්ධි ඇත්තේ කැ’යි කියනලද. ඊට හේතු කවරැ යත්: යම් හෙයෙකින් අපගේ සූත්රයෙහි මෙසේ එයි ද, එහෙයිනැ’යි.
මාගන්දිය, ශ්රෝත්රය වැළිත් ශබ්දය ආරාම කොට ඇත ... මාගන්දිය, ඝ්රාණය වූකලි ගන්ධය ආරාම කොට ඇත … මාගන්දිය, ජිව්හාව වූකලී රසය ආරාම කොට ඇත. රසයෙහි ඇලුණී යැ, රසයෙන් පිනවනලද, ඒ ජිව්හාව තථාගතයන් විසින් දාන්ත යැ ගුප්ත යැ සංවෘත යැ. ඒ ජිව්හා සංවරයට දහම් දෙසති. මාගන්දිය, තොප විසින් තෙල “ශ්රමණ ගෞතම හතවෘද්ධි ඇත්තේ කැ’යි මේ සඳහා කියනලද දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ සඳහා මැ “ශ්රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි කියනලද. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් අපගේ සූත්රයෙහි මෙසේ එයි ද, එහෙයිනැ’යි.
“මාගන්දිය, කය වැළිත් ස්ප්රෂ්ටව්ය ආරාම කොට ඇත ... මාගන්දිය, මනස වැළිත් ධර්මය ආරාම කොට ඇත, ධර්මයෙහි ඇලුණේ යැ, ධර්මයෙන් පිනවනලද, ඒ මනස තථාගතයන් විසින් දමනය කරන ලද, ගෝපනය කරනලද, රක්නාලද, සංවර කරනලද. එ මනස සංවරයට දහම් දෙසති. මාගන්දිය, තොප විසින් තෙල “ශ්රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි මේ සඳහා කියනලද දැ? යි. භවත් ගෞතමයන් වහන්සේ මා විසින් මේ සඳහා මැ “ශ්රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි කියනලද. එ කවර හෙයින යත්: අපගේ සූත්රයෙහි මෙසේ එන හෙයිනැ’යි.