2. 3. 4.
දීඝනඛ සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර නිසා ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙන්හි වැඩ වාසය කරන සේක. එකල්හි දීඝනඛ නම් පරිව්රාජක භාග්යවතුන් වහන්සේ කරා එළැඹ භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි දීඝනඛ පරිව්රාජක භාග්යවතුන් වහන්සේට තෙල කරුණ කී:
භවත් ගෞතමයෙනි, මම් වූ කලි ‘සියල්ල (උපත්) මට නො රුස්නේයැ’ යන මෙබඳු වාද ඇත්තෙමි, මෙබඳු දෘෂ්ටි ඇත්තෙමි’යි. ගිනිවෙස්න, තෙල ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන තොපගේ යම් දෘෂ්ටියක් ඇද්ද, තෙල දෘෂ්ටියත් තොපට නො රුස්නේ දැ? යි. ඉදින් භවත් ගෞතමයෙනි, තෙල දෘෂ්ටිය මට රුස්නේ වී නම් එ (දෘෂ්ට්යර්ත්ථය) ද එසේ මැ වන්නේ යැ, එ ද එසේ මැ වන්නේ යැ. (සර්වග්රහණයෙන් ගන්නා ලද නමුදු දෘෂ්ටිය රුචි වෙයි, එසෙයින් මැ දෘෂ්ට්යර්ත්ථයත් රුචි වේ යන අර්ත්ථ යි.) ගිනිවෙස්න, ලොවැ (දෘෂ්ටි හැර පියන) යම් කෙනෙක් ‘එ ද එබඳු මැ වන්නේ යැ, එ ද එබඳු මැ වන්නේ යැ’යි මෙසේ කියත් නම් (දෘෂ්ටි හැරපියන) ඔවුනට වඩා (දෘෂ්ටි නො හරනා) ඔහු මැ බොහෝහ, බහුතරයහ. ඔහු ඒ දෘෂ්ටිය ද නො හරිති, අන්යදෘෂ්ටියකුදු දැඩි වැ ගනිත්. ගිනිවෙස්න, ලොවැ දෘෂ්ටි නො හරනා යම් කෙනෙක් ‘එ ද එබඳු මැ වන්නේ යැ, එ ද එබඳු මැ වන්නේ යැ’යි මෙසේ කියත් නම් (දෘෂ්ටි නො හරනා) ඔවුනට වඩා (දෘෂ්ටි හැරපියන) ඔහු මැ අල්පයහ, අල්පතරයහ. ඔහු ඒ දෘෂ්ටිය ද හැරපියති, අන්යදෘෂ්ටියකුදු උපාදාන නො කෙරෙති.
ගිනිවෙස්න, ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත, ගිනිවෙස්න, ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත. ගිනිවෙස්න, ‘ඇතැම් ප්රතිසන්ධියක් මට රුස්නේ යැ, ඇතැම් ප්රතිසන්ධියක් මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇති.
ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය සංරාගයට ආසන්න යැ, සංයෝජනයට ආසන්න යැ, (තෘෂ්ණාදෘෂ්ටි) අභිනන්දනයට ආසන්න යැ, අධ්යවසානය (ගිලගැනීම) ට ආසන්න යැ. උපාදානය (දෘඪග්රහණ) යට ආසන්න යැ.
එහි ලා ගිනිවෙස්න, යම් මහණබමුණු කෙනෙක් “සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්න යැ, අසංයෝජනයට ආසන්න යැ (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අනභිනන්දනයට ආසන්න යැ, අනධ්යවසානයට ආසන්න යැ. අනුපාදානයට ආසන්න යැ යි.
මෙසේ වදාළ කල්හි දීඝනඛ පරිව්රාජක භාග්යවතුන් වහන්සේට තෙල කරුණ කී: “භවත් ගෞතමයෝ මාගේ දෘෂ්ටිය උත්කර්ෂ කෙරෙති භවත් ගෞතමයෝ මාගේ දෘෂ්ටිය මැනැවින් උත්කර්ෂ කෙරෙති”යි.
ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: “ඇතැම් ප්රතිසන්ධියක් මට රුස්නේ යැ, ඇතැම් ප්රතිසන්ධියක් මට නො රුස්නේ යැ” යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, යම් දෘෂ්ටියක් ඔවුනට රුස්නේ ද, ඒ මේ දෘෂ්ටිය සංරාගයට ආසන්න යැ, සංයෝජනයට ආසන්න යැ, අභිනන්දනාවට ආසන්න යැ, අධ්යවසානයට ආසන්න යැ, උපාදානයට ආසන්න යි. යම් දෘෂ්ටියක් ඔවුනට නො රුස්නේ නම් ඒ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්න යැ, අසංයෝජනයට ආසන්න යැ, අනභිනන්දනාවට ආසන්න යැ, අනධ්යවසානයට ආසන්න යැ. අනුපාදානයට ආසන්න යි.
ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල (හැම ප්රතිසන්ධිය) මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: “මාගේ මේ ‘සියල්ල මට රුස්නේ යැ’ යන යම් දෘෂ්ටියක් ඇද්ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්ය යැ අන්යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම් මට දෙදෙනකුගෙන් කලහ වන්නේ යැ: ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙකුන් ඇද්ද, ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙකුන් ඇද්ද, මෙ දෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසේ කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දක්මින් එ මැ දෘෂ්ටියත් හැරපියයි, අන්යදෘෂ්ටියකුදු නො ගනී. මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ ප්රහාණය වෙයි, මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.
ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: “මාගේ මේ ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන යම් දෘෂ්ටියක් ඇද්ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්ය යැ අන්යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම් මට දෙදෙනකු ගෙන් කලහ වන්නේ යැ: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙකුත් ඇද්ද, ‘සමහරක් මට රුස්නේ යැ; සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙකුත් ඇද්ද, මෙ දෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසේ කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දකිමින් එ මැ දෘෂ්ටියත් හැරපියයි, අන්යදෘෂ්ටියකුදු නො ගනී. මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ ප්රහාණය වෙයි, මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.
ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන් කෙරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මාගේ යම් දෘෂ්ටියක් වේ ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්යයැ, අන්යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම්, දෙදෙනකුගෙන් මට කලහ වන්නේ යැ: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙකුත් වේද, ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙකුත් වේ ද, මෙදෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසෙයින් කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දකිමින් ඒ දෘෂ්ටියත් හැරපියයි, අන්යදෘෂ්ටියකුදු නො ගනී. මෙසේ තෙල දෘෂ්ටීන්ගේ ප්රහාණය වෙයි, මෙසේ තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.