2. 3. 3.
මහාවච්ඡගොත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනවිහාරයෙහි වැඩ වසනසේක. එකල්හි වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකළයුතු වූ කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ යැ.
මම් භවත් ගෞතමයන් වහන්සේ සමග කථා කෙළෙම් බොහෝ කල් වෙයි. භවත් ගෞතමයන් වහන්සේ මට සැකෙවින් කුසල් අකුසල් දේශනා කරන සේක්ව’යි අයදිමි.
වත්සය, මම් තොපට සැකෙවිනුදු කුසල් අකුසල් දෙසිය හෙමි. වත්සය මම් තොපට විතරිනුදු කුසල් අකුසල් දෙසිය හෙමි. එතෙකුදු වුවත් වත්සය, මෙම තොපට සැකෙවින් කුසල් අකුසල් දෙසන්නෙමි, ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි’යි.
‘එසේ යැ භවත්නි’යි වත්සගෝත්‍රපරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවතුන් වහන්සේ තෙල දේශනාව වදාළසේක:
“වත්සය, ලෝභය අකුශලයෙක, අලෝභය කුශලයෙක. වත්සය, ද්වේෂය අකුශලයෙක, අද්වේෂය කුශලයෙක. වත්සය, මෝහය අකුශලයෙක, අමෝහය කුශලයෙකි. මෙසෙයින් වත්සය, මේ තුන් ධර්‍මයෝ අකුශලයෝ යැ, තුන් ධර්‍මයෝ කුශලයෝ යි. වත්සය, ප්‍රාණඝාතය අකුශලයෙක, ප්‍රාණඝාතයෙන් වෙන් වීම කුශලයෙක. වත්සය, අදත්තාදානය අකුශලයෙක, අදත්තාදානයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, කාමයෙහි මිසහසර අකුශලයෙක, කාමයෙහි මිසහසරින් වෙන්වීම කුශලයෙක. වත්සය, මෘෂාවාදය අකුශලයෙක, මෘෂාවාදයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, පිශුනවචනය අකුශලයෙක, පිශුනවචනයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, පරුෂවචනය අකුශලයෙක, පරුෂවචනයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, සම්ඵප්‍රලාපය අකුශලයෙක, සම්ඵප්‍රලාපයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, අභිධ්‍යාව අකුශලයෙක, අනභිධ්‍යාව කුශලයෙක. වත්සය, ව්‍යාපාදය අකුශලයෙක, අව්‍යාපාදය කුශලයෙක. වත්සය, මිථ්‍යාදෘෂ්ටිය අකුශලයෙක, සම්‍යග්දෘෂ්ටිය කුශලයෙකි. මෙසෙයින් වත්සය, මේ දශධර්‍මයෝ අකුශලයෝ යැ. දශධර්‍මයෝ කුශලයෝ යි.
වත්සය, යම් තැනෙක පටන් මහණහට තෘෂ්ණා ප්‍රහීණ වී ද උසුන්මුල් ඇත්තී තාලවස්තුවක් මෙන් කරනලද්දී අනභාවය කරනලද්දී මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තී ද ඒ මහණ අර්‍හත් වූයේ ක්‍ෂය වූ ආස්‍රව ඇත්තේ වැස නිම වූ බඹසරවස් ඇත්තේ කළ සිවුමඟකිසඇතියේ බහා තැබූ ස්කන්‍ධාදි බර ඇතියේ පැමිණි අර්‍හත්ත්‍වය ඇතියේ ක්‍ෂය වූ භවසංයෝජන ඇත්තේ මොනොවට දැන අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්ත වූයේ යයි.
භවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වූ එක් මහණෙකුදු ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තමා විසින් මැ දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසේ ද එබඳු මහණෙක් ඇද්දැ?යි.
වත්සය, එක් සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ ශ්‍රාවක වූ යම් මහණ කෙනෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තමන් විසින් මැ දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙත් ද එබඳු මහණහු බොහෝ වෙත් මැ යි.
භවත් ගෞතමයන් වහන්සේ සිටිත්වා. මහණහු සිටිත්වා. භවත් ගෞතමයන්ගේ ශ්‍රාවිකා වූ එක් මෙහෙණකුදු ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තමා විසින් අවබෝධ කොට ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසේ ද එබඳු එක් මෙහෙණකුදු ඇද්දැ?යි.
වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ සැවි වූ යම් මෙහෙණ කෙනෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තමන් විසින් අවබෝධ කොට ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙත් ද, එබඳු මෙහෙණහු බොහෝ වෙත් මැ යි.
භවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. භවත් ගෞතමයන් වහන්සේගේ සවු වූ ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති එක් උවසුයෙක් පවා පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූයේ ඒ ශුද්ධාවාසයෙහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එනුයේ ඇද්දැ?යි.
වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ සවු වූ ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති යම් උවසු කෙනෙක් පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූවාහු එහි පිරිනිවෙනසුලු වූවාහු එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තාහු ද එබඳු උවසුවෝ බොහෝ වෙත් මැ යි.
භවත් ගෞතමයන් වහන්සේ සිටින සේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ සිටිත්වා. භවත් ගෞතමයන්ගේ ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී වූ සසුන් කරන අවවාද පිළිගෙන කරන තරණය කළ විචිකිච්ඡා ඇති පහවූ සැක ඇති, විශාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූ එක් උපාසකයෙක් නමුදු වෙසේ දැ?යි.
වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ ශ්‍රාවක වූ ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී වූ ශාසනකර වූ අවවාද පිළිගෙන කරන තරණය කළ විචිකිත්සා ඇති පහවූ සැක ඇති විශාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූ යම් උපාසක කෙනෙක් වෙසෙත් ද, එබඳු උපාසකයෝ බොහෝ වෙත් මැ යි.