2. 3. 2.
අග්ගිවච්ඡගොත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ සතුටු විය. සතුටු උපදවන සිහිකටයුතු වූ කථාව කොට නිමවා, එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය:
“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය ය, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
“කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සත්‍ය ය, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
“කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අනන්තවත් (අන්ත නැති) යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය අනන්තවත් යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘එ මැ ජීව යැ, එ මැ ශරීර යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු (උපදනේ) වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි, නො ද නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි, නො ද නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම් ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’යි. කියව. කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’යි. කියව.
කිම භවත් ගෞතමයෙනි,: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: ‘ලෝකය අන්තවත් යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. කිම වැළිත් භවත් ගෞතමයෙනි, ‘ලෝකය අනන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම් ලෝකය අනන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව.
කිම භවත් ගෞතමයෙනි,: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු වච්ඡය, මම්: එ මැ ජීව යැ, එ මැ ශරීර යැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. කිම, වැළිත් භවත් ගෞතමයෙනි, ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු වච්ඡය, මම්: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව.