2. 2. 7.
චාතුම සූත්රය
මා විසින් මෙසේ අසන ලද . එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ‘චාතුමා’ නම් ගම්හි වූ ඇඹුළු වෙනෙහි වැඩ වසනසේක. එසමයෙහි සැරියුත්මුගලන් දෙතෙරණුවන් ප්රමුඛ පන්සියක් පමණ (නව පැවිදි) මහණහු චාතුමාවට භාග්යවතුන් දක්නා පිණිස පැමිණියාහු වෙති. ඒ අමුතු මහණහු ද නේවාසික භික්ෂූන් හා සමඟ පිළිසඳරකථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇති වූහ. එකල්හි බුදුහු ආනන්දය, මසුන් වොලොගැන්මෙහි කෙවුළන් සෙයින් තෙලෙ කවුරු උස්හඬ මහහඬ ඇත්තාහු දැ’යි ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූහ.
වහන්ස, තෙල සැරියුත්මුගලන් ප්රමුඛ පන්සියක් පමණ මහණහු භාග්යයවතුන් දක්නා පිණිස චාතුමාවට පැමිණියාහ. ඒ අමුතු මහණහු නිවැසි මහණුන් හා සමඟ පිළිසඳර කථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇත්තාහ” යි කීහ. එසේ වී නම් ආනන්දය ‘බුදුහු ආයුෂ්මතුන් අමතන්නාහ’යි මාගේ වචනයෙන් ඒ මහණුන් කැඳව’යි වදාළහ. ‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යයවතුන් වහන්සේට පිළිවදන් අස්වා ඒ මහණුන් කරා එළැඹ ‘බුදුහු ආයුෂ්මතුන් අමතන්නාහ’යි තෙල වදන් කීහ. ‘එසේ යැ ඇවැත්නි’යි ආයුෂ්මත් අනඳතෙරුන්ට පිළිවදන් අස්වා බුදුන් කරා එළැඹ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්ෂූන්ට බුදුහු මෙය වදාළහ: කිම මහණෙනි, තෙපි මසුන් වොලොගැන්මෙහි කෙවුළන් සෙයින් උස්හඬ මහහඬ ඇති වූහු දැ’ යි.
වහන්ස, මේ සැරියුත්මුගලන් දෙතෙරණුවන් ප්රමුඛ පන්සියක් පමණ මහණහු භාග්යවතුන් දක්නා පිණිස චාතුමාවට පැමිණියාහ. ඒ අමුතු මහණහු නේවාසික භික්ෂූන් හා සමඟ පිළිසඳර කථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇත්තාහ’යි. යව මහණෙනි, තොප පණාමන(බැහැර) කෙරෙමි. තොප මා වෙත නො විසියයුතු’ යයි. වදාළහ. ‘එසේ යැ වහන්සැ’ යි ඒ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්වා අසුනින් නැඟී භාග්යවතුන් වැඳ පැදකුණු කොට සෙනසුන ගෝපනය කොට පාසිවුරු ගෙන නික්ම ගියහ.
එසමයෙහි චාතුම වැසි ශාක්යයෝ කිසි කටයුත්තෙකින් සන්ථාගාරයෙහි රැස්වූවාහු වෙති, චාතුමාවැසි ශාක්යයෝ දුරින් මැ යන ඒ භික්ෂූන් දුටුවාහු ය. දැක ඒ භික්ෂූන් කරා එළඹියාහු ය. එළඹ, ඒ භික්ෂූන්ට මෙපවත් කීහ: “සොඳය, ආයුෂ්මත්නි තෙපි (දැන්ම අවුත්) කොහි යැවූ දැ” යි. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂුසඞ්ඝයා පණාමන කරන ලදැයි කීහ. එසේ නම් ඇවැත්නි මොහොතක් හුන මැනැව, අපි භාග්යවතුන් වහන්සේ පහදවාලන්නව හැකි වන්නමෝ නම් යෙහෙකැ’ යි කීහු. ‘එසේ යැ ඇවැත්නි, ඒ භික්ෂූහු චාතුමාවැසි සැහැරජුන්ට පිළිවදන් ඇස්වූහු.
ඉක්බිති චාතුමාවැසි සැහැරජහු භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියාහු ය. එළැඹ භාග්යවතුන් වහන්සේ අභිවාදන කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් චාතුමාවැසි ශාක්යයෝ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, භාග්යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා අභිනන්දන කෙරෙත්වා (ඊම රුස්මින් තුටු වෙත්වා) වහන්ස, භාග්යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා, වහන්ස භාග්යවතුන් විසින් යම්සේ පෙර භික්ෂුසඞ්ඝයා අනුග්රහ කරනලද නම් එසෙයින් මැ භාග්යවත්හු දැන් භික්ෂුසඞ්ඝයා අනුග්රහ කරන සේක්වා. වහන්ස, මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂූහු ඇත. භාග්යවතුන්ට දක්නට නො ලැබෙන ඔවුනට ප්රසාද අන්යථාත්වය වන්නේ ය. විපරිණාමාන්යථාත්වය වන්නේ ය. වහන්ස, යම්සේ දියවර නො ලැබෙන තරුණබීජයන්ගේ (මලානයෙන්) අන්යථාත්වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂූහු ඇත. භාග්යවතුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්යථාත්වය වන්නේ යැ විපරිණාමය වන්නේ යැ.
වහන්ස, යම්සේ මව නො දක්නා තුරුණු වස්සාට අන්යථාත්වය වන්නේ ද. විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂූහු ඇත. භාග්යවතුන් නො දක්නා ඔවුනට අන්යථාත්වය වන්නේ යැ. විපරිණාමය වන්නේ යැ. වහන්ස, භාග්යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා අභිනන්දන කෙරෙත්වා, වහන්ස, භාග්යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්යවතුන් විසින් පෙර භික්ෂුසඞ්ඝයා අනුග්රහ කරන ලද ද, එසෙයින් මැ භාග්යවත්හු දැන් භික්ෂුසඞ්ඝයා අනුග්රහ කෙරෙත්ව” යි කීහ.
එකල්හි සභම්පතීබ්රහ්ම තමාගේ සිතින් භාග්යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්කය දැන යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දික් කරන්නේ හෝ වේ ද දික් කල අතක් වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් මැ බඹලොව්හි අතුරුදහන් වූයේ බුදුන් හමුයෙහි පාළ වී. එක්බිති සභම්පතීබ්රහ්ම උතුරුසඟ එකස් කොට පෙරෙවැ බුදුන් දෙසට ඇඳිලි බැඳ මෙපවත් කී: “වහන්ස, භාග්යවත්හු භික්ෂුසඞ්ඝයා අභිනන්දනය කෙරෙත්වා, වහන්ස භාග්යවත්හු භික්ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්යවතුන් විසින් පෙර භික්ෂුසඞ්ඝයා අනුග්රහ කරනලද ද, එසෙයින් මැ භාග්යවත්හු දැන් භික්ෂුසඞ්ඝයා අනුග්රහ කෙරෙත්වා. වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති, මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂූහු ඇත. බුදුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්යථාත්වය වන්නේ යැ, විපරිණාමය වන්නේ යි.
වහන්ස, යම්සේ දියවර නො ලැබෙන තරුණබීජයන්ගේ අන්යථාත්වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂූහු ඇත. බුදුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්යථාත්වය වන්නේ යැ, විපරිණාමය වන්නේ යි.
වහන්ස, යම්සේ මව නො දක්නා තුරුණු වස්සාට අන්යථාත්වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂූහු ඇත. බුදුන් නො දක්නා ඔවුනට අන්යථාත්වය වන්නේ යැ විපරිණාමය වන්නේ යි. වහන්ස, භාග්යවත්හු භික්ෂුසඞ්ඝයා අභිනන්දන කෙරෙත්වා වහන්ස, භාග්යවත්හු භික්ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්යවතුන් විසින් පෙර භික්ෂුසඞ්ඝයා අනුග්රහ කරනලද ද එසෙයින් මැ බුදුහු දැන් භික්ෂුසඞ්ඝයා අනුග්රහ කෙරෙත්ව” යි කී.