2. 2. 8.
නළකපාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝසල ජනපදයෙහි නළකපාන ගමැ කෑලවෙනෙහි වැඩවසනසේක. එසමයෙහි ඉතා ප්‍රසිද්ධ වූ බොහෝ කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු වෙති. ආයුෂ්මත් අනුරුද්ධ යැ ආයුෂ්මත් භද්දිය යැ ආයුෂ්මත් කිම්බිල යැ ආයුෂ්මත් භගු යැ ආයුෂ්මත් කුණ්ඩධාන යැ ආයුෂ්මත් රේවත යැ ආයුෂ්මත් ආනන්‍ද යැ අන්‍ය වූ ද ඉතා ප්‍රසිද්ධ වූ කුලපුත්‍රයෝ යි.
තවද එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද්දාහු අභ්‍යවකාශයෙහි වැඩහුන්සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ කුලපුත්‍රයන් අරභයා භික්‍ෂූන් ඇමැතූසේක: “මහණෙනි, යම් කුලපුත්‍ර කෙනෙක් මා උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු වෙත් ද, කිමෙක මහණෙනි, ඒ මහණහු බඹසරවස්හි අභිරත වූවාහු දැ යි විචාළසේක. මෙසේ වදාළ කල්හි ඒ මහණහු නො බැණ හුන්හු. දෙවෙනවටදු ... නො බැණ හුන්හු. තෙවනවටදු බුදුහු ඒ කුලපුත්‍රයන් අරභයා මහණුන් ඇමැතූසේක: “මහණෙනි, යම් කුලපුත්‍ර කෙනෙක් මා උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වූවාහු ද, කිමෙක මහණෙනි, ඒ මහණහු බඹසරවස්හි ඇලුම් ඇත්තාහු දැ’යි වදාළහ. තෙවනවටදු ඒ මහණහු නො බැණ හුන්හු.
එකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත උපන: ‘මම් එ මැ කුලපුත්‍රයන් පුළුවුස්නෙම් නම් මැනැවැ’යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඇමැතූසේක. ‘කිමෙක, අනුරුද්ධයෙනි, තෙපි බඹසරවස්හි අභිරත වූහු දැ’යි. වහන්ස, ඒකාන්තයෙන් ඇපි බඹසරවස්හි ඇලුණම්හ’යි කී. සාධු සාධු අනුරුද්ධයෙනි, යම් හෙයෙකින් තෙපි බඹසරවස්හි සිත අලවවු ද අනුරුද්ධයෙනි, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වූ කුලපුත්‍ර වූ තොපට තෙල නිසි වෙයි. අනුරුද්ධයෙනි, තෙපි යම් භද්‍ර යෞවනයෙකින් යුක්ත වූවහු ප්‍රථම වයසින් සමන්‍වාගත වූවහු මනා කළුකෙහෙ ඇතියවුහු කාමයන් පරිභෝග කරවු ද, අනුරුද්ධයෙනි, තෙපි ඒ භද්‍රයෞවනයෙන් යුක්ත වූවහු ප්‍රථම වයසින් සමන්‍විත වූවහු මනා කළුකෙහෙ ඇතියවුහු ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවහු ය. අනුරුද්ධයෙනි, ඒ තෙපි රජුන් විසින් අභිනීත වූවහු (අනභිමුඛ කොට කැඳවන ලදුවහු) ගිහිගෙන් නික්ම ශාසනයෙහි නො මැ පැවිදි වූවහු යැ. සොරුන් විසින් අභිනීත වූවහු නො පැවිදි වූවහු යැ. ණයින් මඬනාලදු වැ ගිහිගෙන් නික්ම ශාසනයෙහි නො පැවිදි වූවහු යැ. රාජාදි භයින් මඬනාලදු වැ නො පැවිදි වූවහු යැ. ජීවිකා හේතුයෙන් මඬනාලදු වැ නො පැවිදි වූවහු යැ. වැලිදු “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඬනාලදුයෙම් වෙමි දුකට බටුයෙම් දුකින් මඬනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් ඉතා යෙහෙකැ”යි අනුරුද්ධයෙනි, තෙපි මෙසේ සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවහු නො දැ’යි. එසේ යැ වහන්ස. තවද අනුරුද්ධයෙනි,
මෙසේ පැවිදි වූ කුලපුත්හු විසින් කුමක් කටයුතු වේ ද යත්: අනුරුද්ධයෙනි, වස්තුකාම ක්ලේශකාම (කාමච්ඡන්‍දනීවරණ)යෙන් වෙන් වැ අකුශලධර්‍මයන් ගෙන් වෙන් වැ (ප්‍රථමද්විතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) ප්‍රීතිය හා සුඛය නො ලබා ද ඊට වඩා ඉතා ශාන්ත වූ තෘතීයධ්‍යානාදි සුවය හෝ නො ලබා ද, ඔහු ගේ සිත අභිධ්‍යාව ද මැඩගෙන සිටී, ව්‍යාපාදය ද සිත මැඩගෙන සිටී, ථීනමිද්ධය ද සිත මැඩගෙන සිටී, උද්ධච්ච කුක්කුච්චය ද සිත මැඩගෙන සිටී, විචිකිච්‍ඡාව ද සිත මැඩගෙන සිටී, අධිකුශලධර්‍මයෙහි උකටලී බව (අරතිය) ද සිත මැඩගෙන සිටී, ආලස්‍යය (තන්‍දිය) ද සිත මැඩගෙන සිටී. අනුරුද්ධයෙනි, කාමච්ඡන්‍දයෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුඛය නො ලබයි. ඊට වඩා ශාන්තතර වූ සුඛයක් හෝ නො ලබයි. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්‍මයන් ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුඛය ලබා ද ඊට වඩා ශාන්තර වූ සුවයක් හෝ ලබා ද අභිධ්‍යාව ද ඔහුගේ සිත මැඩගෙන නො සිටී, ව්‍යාපාදය ද සිත මැඩගෙන නො සිටී, ථීනමිද්ධය ද සිත මැඩගෙන නො සිටී, උද්ධච්චකුක්කුච්චය ද සිත මැඩගෙන නො සිටී, විචිකිච්‍ඡාව ද සිත මැඩගෙන නො සිටී, අරතිය ද සිත මැඩගෙන නො සිටී, ආලස්‍ය ද සිත මැඩගෙන නො සිටී. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්‍මයන් ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුවය ලබයි, ඊට වඩා ශාන්තතර වූ අන් සුවයක් හෝ ලබයි.
අනුරුද්ධයෙනි, තොපට මා කෙරෙහි කෙබඳු සිතෙක් වේ ද “සාංක්ලේශික වූ පුනර්‍භවය ඇති කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද ඔහු තථාගතයන්ට අප්‍රහීණයහ, එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන ඉවසන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැනගෙන දුරු කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන බැහැර කරන්නාහ”යි. සිතේ ද?
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මෙබඳු සිතෙක් නො වෙයි: “සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද, ඒ ආස්‍රවයෝ තථාගතයන්ට අප්‍රහීණයහ, එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැනගෙන පරිවර්‍ජන කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන විනෝදන කරන්නාහ”යි මෙබඳු සිතෙක් නො වෙයි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මෙබඳු සිතෙක් වෙයි: “සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද ඒ ආස්‍රවයෝ තථාගතයන්ට ප්‍රහීණයෝ යැ. එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන පරිවර්‍ජන කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැන විනෝදනය කරන්නාහ”යි. සාධු සාධු අනුරුද්ධයෙනි. අනුරුද්ධයෙනි, සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස වූ යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු මුදුනසුන් තාලයක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, යම්සේ අනුරුද්ධයෙනි. මුදුන සුන් තල්රුක නැවත වැඩීමට අභව්‍ය වේ ද එසෙයින් මැ අනුරුද්ධයෙනි, තථාගතයන්හට සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරා මරණ පිණිස වූ යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණ වූවාහු ද ඒ ආස්‍රවයෝ උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙති. එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ. ඇතැම් ආස්‍රවයක් දැන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන පරිවර්‍ජන කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන විනෝදනය කරන්නාහ’යි.