2. 2. 6.
ලටුකිකෝපම සූත්රය
මා විසින් මෙසේ අසන ලද. එක් කලෙකැ භාග්යවත් බුදුහු අඞ්ගුත්තරාප ජනපදයෙහි අඞ්ගුත්තරාපවාසීන් ගේ ආපණ නම් නියම්ගම්හි වැඩවසනසේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසිසේක. ආපණයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුණුසේක් දිවාවිහරණය සඳහා එක්තරා වනලැහැබකට පිවිසිසේක. ඒ වනලැහැබට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහරණයට වැඩහුන්සේක.
ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ ද පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසියේය. ආපණයෙහි පිඬු සිඟා හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුණේ දිවාවිහරණය පිණිස ඒ වනලැහැබට පැමිණියේ ය. ඒ වනලැහැබට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහරණයට හිඳගත. එකල්හි එකලා වැ විවේකයෙන් හුන් ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් උපන: “ඒකාන්තයෙන් බුදුහු අපගේ බොහෝ දුක් දුරුකරනුවහ. ඒකාන්තයෙන් බුදුහු අපට බොහෝ සුව ඵළවනුවහ, ඒකාන්තයෙන් බුදුහු අපගේ බොහෝ අකුශලධර්මයන් දුරුකරනුවහ. ඒකාන්තයෙන් බුදුහු අපට බොහෝ කුශලධර්මයන් ඵළවනුවහ”යි.
ඉක්බිති ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ පස්වරුයෙහි පලසමවතින් නැඟීසිටියේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය කී යැ: “වහන්ස, මෙහි එකලා වැ විවේකයෙන් හුන් මා ගේ චිත්තයෙහි මෙබඳු පරිවිතර්කයෙක් උපන: භාග්යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපට බොහෝ වූ … කුශලධර්මයන් ඵළවනසේකැ”යි.
වහන්ස, අපි පෙර සවස්හිදු උදාසන දු දාවල්හි දු විකාලයෙහි වැළඳුම්හ. වහන්ස, යම් කලෙකැ භාග්යවතුන් වහන්සේ “මහණෙනි, තෙපි තෙල දිවා විකල්බොජුන් හැර පියව”යි භික්ෂූන් ඇමැතූසේක් ද එබඳු කලෙක් විය. වහන්ස, (එකල්හි) මට (සිත්හි) අන්යථාත්වය වී මැ යැ, දොම්නස් වී මැ යැ: “ශ්රද්ධාවත් ගෘහපතිහු අපට දහවල් විකාලයෙහි යම් ප්රණීත වූ කෑයුතු බිදියයුතු දැය දෙති, භාග්යවතුන් වහන්සේ අපට ඒ භෝජනයාගේ ප්රහාණය වදාළසේක. සුගතයන් වහන්සේ අපට ඒ භෝජනයාගේ ද දුරැලීම වදාළසේකැ”යි.
වහන්ස, අපි භාග්යවතුන් වහන්සේ කෙරෙහි ප්රේමය ද ගෞරවය ද ලජ්ජාව ද බිය ද දක්නමෝ මෙසේ ඒ දිවාවිකල්බොජුන දුරු කළම්හ. වහන්ස, අපි සවස ද උදාසන ද වැළැඳුම්හ. යම් කලෙකැ භාග්යවතුන් වහන්සේ “මහණෙනි, තෙපි තෙල රාත්රි විකල් බොජුන හැරපියව”යි භික්ෂූන් ඇමැතූසේක් ද එබඳු කලෙක් විය. වහන්ස, (එකල්හි) මට (සිත්හි) අන්යථාත්වය වී මැ යැ, දොම්නස් වීමැ ය: “මේ දෙවැදෑරුම් බත් අතුරෙන් යම් බතක් අතිශයින් ප්රණීත යයි කියනලද ද භාග්යවතුන් වහන්සේ අපට ඒ භෝජනයා ගේ ප්රහාණය වදාළසේක. සුගතයන් වහන්සේ අපට ඒ භෝජනයාගේ හැරපීම ද වදාළසේකැ”යි.
වහන්ස, පෙර එක්තරා පුරුෂයෙක් දහවල්හි සූපයට නිසි (මත්ස්යමාංසාදී) යක් ලැබ මෙසේ කී යැ: “දැන් මෙය තබාපියව, සවස්කලැ හැම දෙනමෝ එක් වැ පියා වළඳම්හ”යි. වහන්ස, යම් කිසි සකස් කළ කෑයුතු දෑ වේ ද, එ හැම රාත්රියෙහි වෙයි. දහවල්හි ස්වල්පයෙක් වේ. වහන්ස, අපි භාග්යවතුන් වහන්සේ කෙරෙහි ප්රේමය ද ගෞරවය ද ලජ්ජාව ද බිය ද දක්නමෝ මෙසේ තෙල රෑ විකල් බොජුන් හැරපීම්හ.
වහන්ස, පෙර භික්ෂූහු රැය ගනඳුරෙහි පිඬුසිඟා යන්නාහු ඉඳුල්දිය හෙළන තැනට ද පිවිසෙති. ගම්දොර ගවරවළෙහි ද වැටෙති, කටුවැටට ද නැඟෙති, නිදන ගවයන් පිට ද නැඟෙති, කළ සොරකම් ඇත්තා වූ ද කළ සොරකම් නැත්තා වූ ද සොරුන්ට ද හමු වෙති, මාගම ද ඔවුන් මෙවුන්දමින් පවරයි.
වහන්ස, මම් පෙර රැය බොල්අඳුරෙහි පිඬු සිඟා ගියෙමි. වහන්ස, බඳුන් සෝදන එක්තරා ස්ත්රියක් විදුලියඑලියෙන් මා දුටුවා යැ. මා දැක බියපත් වූවා “මට වනසෙක, පිශාචයෙක් මා කන්නට ආයේ වනැ”යි මහහඬ නැඟූ යැ. වහන්ස, මෙසේ කී කල්හි මම් ඒ ස්ත්රියට තෙල කීමි: “නැඟැණිය, මම් පිශාච නො වෙමි, පිඬු පිණිස සිටි මහණෙක්මි” කීමි. මහණහුගේ පියා මළේ වන, මහණහුගේ මව මළා වන, මහණ, තියුණු වූ ගෙරිකපන කැත්තෙන් තාගේ කුස කපන ලද්දේ මැනැවැ, යම් හෙයකින් මේ රෑ බොල්අඳුරෙහි උදර හේතුවෙන් පිඬු පිණිස හැසිරෙයි ද ඒ නො මනා මැ යි.
වහන්ස, ඒ සිහි කරන මට මේ සිත වෙයි: “ඒකාන්තයෙන් භාග්යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක් දුරලනසේක, ඒකාන්තයෙන් භාග්යවතුන් වහන්සේ අපට බොහෝ සුව ඵළවනසේක, ඒකාන්තයෙන් භාග්යවතුන් වහන්සේ අපගේ බොහෝ අකුසල් දුරලනසේක, ඒකාන්තයෙන් භාග්යවතුන් වහන්සේ අපට කුසල්දහම් ඵළවනසේකැ”යි.
උදායිය, ඒ එසේ මැ යැ. ලොවැ ඇතැම් තුච්ඡපුරුෂයෝ ‘මෙය හැරපියව’යි මා විසින් කියනුලබන්නාහු ඔහු මෙසේ කියති: “කුමක් හෙයින් මේ මහණහු ඉතා අල්ප වූ මඳ පමණ වූ මෙකරුණට ඉතා වෑයම් කෙරෙත් දැ”යි. ඔහු එකරුණ වැලිත් නො හැරපියති. මා කෙරෙහිදු නො සතුට උපදවත්. (සාරිපුත්තාදී) යම් භික්ෂු කෙනෙක් හික්මෙනු කැමැති වෙත් ද, (ඔවුන් කෙරෙහිදු නො සතුට) එළවත්. උදායිය, ඔවුන්ට එය බලවත් බන්ධනයෙක් දැඩි බන්ධනයෙක් ස්ථිර බන්ධනයෙක් නො දිරූ බන්ධනයෙක් ගෙල බැඳි මහාකාෂ්ටයෙක් වෙයි.