2. 2. 5.
භද්දාලි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද, එක් කලෙකැ බුදුහු සැවැත් නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එහි දී බුදුහු ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළහ: මහණෙනි, මම් ඒකාසන (පෙරබත්හි වළඳන) භෝජනය වළඳමි. ඒකාසනභෝජනය වළඳන මම අල්පාබාධබව ද නිදුක් බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දනිමි. එව මහණ තෙපි දු ඒකාසන භෝජනය වළඳවු. මහණෙනි තෙපි දු ඒකාසන භෝජනය වළඳන්නහු අල්පාබාධ බව ද නිදුක් බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද පහසු විහරණය ද දන්නහු යැ.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, මම් ඒකාසනභෝජනය වළඳන්නට නො හැක්කෙමි. වහන්ස ඒකාසන භෝජනය වළඳනා වූ මට (දිවිතෙක් බඹසර හැසිරෙන්නට හැක්කෙම් ද නො හැක්කෙම් දැ’යි මෙසේ) කුකුසෙක් වන්නේ යැ විපිළිසරයෙක් වන්නේ යැ”යි. එසේ වී නම් භද්දාලිය තෙපි යම් තැනෙක පවරන ලදහු වළඳවු ද එහි දී එක් කොටසක් වළඳා එක් කොටසක් බැහැර ගෙන ගොස් ද වළඳවු. භද්දාලි මෙසේ වළඳන්නා වූ තෙපි යැපෙන්නවූ ය. වහන්ස, මම් මෙසේද වළඳන්නට නො හැකි වෙමි. වහන්ස මෙසේ ද වළඳන්නා වූ මට කුකුස් වන්නේ මැ යැ විපිළිසර වන්නේ මැ යි. ඉක්බිති ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා ශික්‍ෂාපදය සමාදන් වන කල්හි නො හැකි බව ප්‍රකාශ කෙළේය. එකල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ශාස්තෘශාසනයෙහි ශික්‍ෂා නො පුරන්නකු සෙයින් ඒ සියලු තුන්මස භාග්‍යවතුන් වහන්සේගේ හමුවීමට නො පැමිණියේ යැ.
එසමයෙහි බොහෝ භික්‍ෂූහු “කොට නිමවූ සිවුරු ඇති බුදුහු තෙමසක්හුගේ ඇවෑමෙන් චාරිකායෙහි වඩනාසේකැ”යි භාග්‍යවතුන් වහන්සේට සිවුරු කෙරෙති. එකල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ඒ භික්‍ෂූන් කරා එළැඹ ඒ භික්‍ෂූන් සමග සතුටු වී යැ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස්වැ හුන් ආයුෂ්මත් භද්දාලි තෙරුන්ට ඒ භික්‍ෂූහු තෙල කීහු: “ඇවැත්නි, භද්දාලි, ‘කොට නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමසක් ඇවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැ’යි මේ භාග්‍යවතුන් වහන්සේට සිවුරු කරනුලැබෙයි. ඇවැත්නි භද්දාලිය, එහෙයින් තෙල අපරාධය මැනැවින් මෙනෙහි කරව. පසුවැ තොපට නහමක් දුෂ්කරතර වේව’යි. කීහු.
ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ‘එසේ යැ ඇවැත්නි’යි ඒ භික්‍ෂූන්ට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හින්. එකත්පස් වැ හුන් ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල් කී යැ: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා සිකපද සමාදන් වන කල්හි එහි උත්සාහ රහිත බව පැවසූයෙම් ද වහන්ස, බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්‍ෂයකු සෙයින් අපරාධය මා ඉක්ම ගියේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආයතිසංවරය පිණිස මාගේ ඒ දෝෂය දෝෂ විසින් පිළිගන්නා සේක්ව’යි කී යැ.
භද්දාලිය ඒකාන්තයෙන් තෙපි මා විසින් ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා ශික්‍ෂාපද සමාදන් වන කල්හි එහි උත්සාහ රහිත බව පැවසූවහු ද බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්‍ෂයකු සෙයින් අපරාධය තොප ඉක්ම ගියේ යැ.
භද්දාලිය, තා විසින් සමය ද (තා විසින් සැලකියයුතු කරුණෙක් ඇත. ඒ ද) නොසලකන ලද විය: “බුදුහු සැවැත්නුවර වෙසෙති, ‘භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්‍ෂාපද සපුරා නො කරන්නෙකැ’යි බුදුහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.
භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ භික්‍ෂුහු සැවැත්නුවර වස් එළැඹියහ, භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්‍ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඒ භික්‍ෂූහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.
භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ භික්‍ෂුණීහු ද සැවැත්නුවර වස් එළැඹියහ, භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්‍ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඒ භික්‍ෂුණීහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.
භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ උවසුවෝ සැවැත්නුවර වෙසෙති. ඔහු ද මා දන්නාහ”යි ... “බොහෝ උවසුවෝ ද සැවැත්නුවර වෙසෙති. භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්‍ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඔහු ද මා දන්නාහ”යි මෙ කරුණ ද භද්දාලිය, තා විසින් නො සලකන ලද විය.
භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ වූ නානා තීර්‍ත්‍ථක ශ්‍රමණබ්‍රාහ්මණයෝ සැවැත්නුවර වස් එළැඹියහ. ශ්‍රමණගෞතමයන්ගේ ශ්‍රාවක වූ ස්‍ථවිරාන්‍යතර වූ භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්‍ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඔහු ද මා දන්නාහ”යි. මෙ කරුණ ද භද්දාලිය, තා විසින් නො සලකන ලද වී’ යයි.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා ශික්‍ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව ප්‍රකාශ කෙළෙමි. ඒ මා බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්‍ෂයකු සෙයින් අපරාධය තෙමේ ඉක්ම ගියේ යැ. වහන්ස, බුදුහු ඒ මාගේ දෝෂය දෝෂ විසින් ආයතිසංවරය පිණිස ඉවසනසේක්වා. භද්දාලිය, තෝ මා විසින් ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා ශික්‍ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව ප්‍රකාශ කෙළෙහි යැ. භද්දාලිය, ඒකාන්තයෙන් අපරාධය තෙමේ ඒ තා ඉක්මැ ගියේ යැ.