2. 2. 4.
මහාමාලුඞ්ක්ය සූත්රය
මා විසින් මෙසේ අසන ලද. එක් කලෙක බුදුහු සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී බුදුහු ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ‘වහන්සැ’යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, තෙපි මා විසින් දෙසූ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ධරවු දැ?”යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මාලුඞ්ක්යපුත්ර තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, මම භාග්යවතුන් වදාළ පඤ්චෝරම්භාගිය සංයෝජන දරමි”යි. “මාලුඞ්ක්යපුත්රය, කිසෙයින් තෙපි මා කී පඤ්චෝරම්භාගිය සංයෝජන ධරවු දැ?”යි. “වහන්ස, මම ‘සක්කායදිට්ඨිය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස මම ‘විචිකිච්ඡාව’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘සීලබ්බතපරාමාස’ය බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘කාමච්ඡන්දය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘ව්යාපාදය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම මෙසෙයින් බුදුන් වදාළ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් දරමි’යි කීහ.
මාලුඞ්ක්යපුත්රය, තෙපි මා විසින් මෙසේ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් කවරක්හට දෙසනලදැ’යි ධරවු ද? මාලුඞ්ක්යපුත්රය, අන්තොටු පිරිවැජියෝ මේ තරුණොපමා උපාරම්භ (නින්දාපූර්වකදෝෂාරෝපණ) යෙන් උපාරම්භ කරන්නාහු නො වෙත් ද? “මාලුඞ්ක්යපුත්රය, උඩුහුරු වැ හෝනා වූ මුග්ධ වූ ළදරු කුමරුහට ‘සක්කාය’ යයි ද දැනුමෙක් නො වෙයි. ඕහට වැළිත් සත්කායදෘෂ්ටියෙක් කොයින් උපදනේ ද ඔහුට සත්කාය දෘෂ්ටි අනුශය වේ මැ යි.
මාලුඞ්ක්යපුත්රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘ධර්මය’ යන සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් ධර්මයෙහි විචිකිත්සායෙක් කොයින් උපදනේ ද? ඕහට විචිකිත්සානුශය තෙමේ අනුශය වේ මැ යි.
මාලුඞ්ක්යපුත්රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘ශීල’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් ශීලයෙහි ශීලව්රතපරාමර්ශයෙක් කොයින් උපදනේ ද? ඕහට ශීලව්රතපරාමර්ශය තෙමේ අනුශය වේ මැ යැ.
මාලුඞ්ක්යපුත්රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘කාම’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් කාමයෙහි කාමච්ඡන්දය කොයින් උපදනේ ද? ඕහට කාමරාගානුශය තෙමේ අනුශය වේ මැ යැ.
මාලුඞ්ක්යපුත්රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘සත්ත්ව’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් සත්ත්වයන් කෙරෙහි ව්යාපාදයෙක් කොයින් උපදනේ ද? ඕහට ව්යාපාදානුශය තෙමේ අනුශය වේ මැ යි. මාලුඞ්ක්යපුත්රය, අන්යතීර්ත්ථක පරිව්රාජකයෝ මේ තරුණොපමඋපාරම්භයෙන් උපාරම්භ කරන්නාහු නො වෙත් දැ’යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කී හ: “භාග්යවතුන් වහන්ස, යම් හෙයෙකින් බුදුහු පඤ්චඕරම්භාගියසංයෝජනයන් දෙසනසේක් නම් භාග්යවතුන් වහන්ස, එයට කලි. සුගතයන් වහන්ස, එයට කලි. භාග්යවතුන්ගේ දේශනාව අසා භික්ෂූහු ධරත්” යයි. එසේ වී නම් ආනන්දයෙනි. අසව මොනොවට මෙනෙහි කරව, වදාරමි’යි. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළහ.
ආනන්දයෙනි, මෙලොවැ අශ්රැතවත් පෘථග්ජන තෙමේ (බුද්ධාදි) ආර්ය්යයන් නො දක්නේ ආර්ය්යධර්මයෙහි අදක්ෂ වූයේ ආර්ය්යධර්මයෙහි නො හික්මුණේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්මයෙහි අදක්ෂ වූයේ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණේ සත්කායදෘෂ්ටියෙන් මඩනාලද සත්කායදෘෂ්ටිය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් සත්කාය දෘෂ්ටියගේ ද නිස්සරණය (නිවන) ඇති සැටියෙන් නො දනි. ඕහට සත්කායදෘෂ්ටිය ස්ථිර බවට ගියා නො බැහැර කළා ඕරම්භාගිය සංයෝජන වෙයි. විචිකිත්සායෙන් මඩනාලද විචිකිත්සාව අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් විචිකිත්සාවගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ විචිකිත්සාව ස්ථිර බවට ගියා නො බැහැර කළා ඕරම්භාගියසංයෝජන වෙයි. ශීලව්රතපරාමර්ශයෙන් මඩනාලද ශීලව්රතපරාමර්ශය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ශීලව්රතපරාමර්ශයා ගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ ශීලව්රතපරාමර්ශය තෙමේ ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වෙයි. කාමරාගයෙන් මඩනාලද කාමරාගය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් කාමරාගයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ කාමරාගය ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වෙයි. ව්යාපාදයෙන් මඩනාලද ව්යාපාදය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ව්යාපාදයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ ව්යාපාදය ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වේ.
තවද ආනන්දයෙනි, ශ්රැතවත් වූ ආර්ය්යශ්රාවක තෙමේ (බුද්ධාදි) ආර්ය්යයන් දක්නේ ආර්ය්යධර්මයට නිපුණ වූයේ ආර්ය්යධර්මයෙහි මොනොවට හික්මුණේ සත්පුරුෂයන් දක්නේ සත්පුරුෂධර්මයට නිපුණ වූයේ සත්පුරුෂධර්මයෙහි මොනොවට හික්මුණේ සත්කායදෘෂ්ටියෙන් නො මඩනාලද සත්කායදෘෂ්ටි අනුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් සත්කායදෘෂ්ටියගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනියි. ඕහට ඒ සත්කායදෘෂ්ටිය අනුශය සහිත වැ ප්රහීණ වන්නේ යැ.
විචිකිත්සායෙන් නො මඩනාලද විචිකිත්සාව අනුව නො ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් විචිකිත්සාවගේ ද නිස්සරණය ඇති සැටියෙන් දකි. ඕහට ඒ විචිකිත්සාව අනුශය සහිත වැ ප්රහීණ වන්නේ යැ.
ශීලව්රතපරාමර්ශයෙන් නො මඩනාලද ශීලව්රතපරාමර්ශානුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ශීලව්රතපරාමර්ශයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ ශීලව්රතපරාමර්ශය අනුශය සහිත වැ ප්රහීණ වන්නේ යැ.
කාමරාගයෙන් නො මඩනාලද, කාමරාගානුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් කාමරාගයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ කාමරාගය අනුශය සහිත වැ ප්රහීණ වන්නේ යැ.
ව්යාපාදයෙන් නො මඩනාලද ව්යාපාදය අනුව නො ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ව්යාපාදයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ ව්යාපාදය අනුශය සහිත වැ ප්රහීණ වන්නේ යැ.