2. 2. 3.
චූළමාලුඞ්ක්ය සූත්රය
මා විසින් මෙසේ අසන ලද. එක්කලෙකැ භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි එකලා වැ විවේකයෙන් හුන් ආයුෂ්මත් චූළමාලුඞ්ක්ය තෙරුන්ට මෙසේ සිතට විතර්කයෙක් උපන. භාග්යවතුන් විසින්: “ලෝකය ශාශ්වත යයි ද ලෝකය අශාශ්වත යයි ද ලෝකය අන්තවත් යයි ද ලෝකය අනන්තවත් යයි ද එ මැ ජීව යැ එ මැ ශරීර යයි ද ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි ද සත්ත්ව තෙම මරණින් මතු වේ යයි ද සත්ත්ව තෙම මරණින් මතු නො වේ යයි ද සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් වෙයි නො වන්නේත් වේ යයි ද සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි. නො වන්නේ නො වේ යයි දැ” යි යම් දෘෂ්ටිගත කෙනෙක් ප්රකාශ නො කරන ලද්දහු ද තබනලද්දාහු ද ප්රතික්ෂේප කරන ලද්දාහු ද ඒ දෘෂ්ටිගතයන් බුදුහු මට ප්රකාශ නො කෙරෙති. යම් දෘෂ්ටිගත කෙනෙකුන් බුදුහු මට ප්රකාශ නො කෙරෙත් නම් එය මට නො රිසි වෙයි. එය මට නො කැමැති වෙයි. මම බුදුන් කරා එළැඹ මෙ කරුණ පුළුවුස්නෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ එ මැ ජීව යැ එ මැ ශරීර යැ හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්ව තෙම මරණින් මතු වෙයි හෝ සත්ත්ව තෙම මරණින් මතු නොවෙයි හෝ සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් වෙයි නො වන්නේත් වෙයි හෝ සත්ත්ව තෙම මරණින් මතු නො මැ වන්නේත් නො ද නො වන්නේත් වෙයි හෝ ප්රකාශ කෙරෙත් නම් මෙසෙයින් මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ... සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි හෝ ප්රකාශ නො කෙරෙත් නම් මෙසෙයින් මම් ශික්ෂාප්රත්යඛ්යානය කොට ගිහි බවට වැටෙමි”.
ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්යප්රත්ර, සවස් වේලෙහි විවේකයෙන් නැගීසිටියේ බුදුන් කරා එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් මාලුඞ්ක්යප්රත්ර තෙමේ භාග්යවතුන් වහන්සේට තෙල කී යැ:
“වහන්ස, මෙහි එකලා වැ විවේනයෙන් හුන් මාගේ සිතට මෙබඳු විතර්කයක් උපන. ‘ලෝකය ශාශ්වත යයි ද ලෝකය අශාශ්වත යයි ද ... සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යයි ද යම් දෘෂ්ටිගත කෙනෙක් භාග්යවතුන් විසින් ප්රකාශ නො කරන ලද්දාහු ද තබන ලද්දාහු ද ප්රතික්ෂේප කරන ලද්දාහු ද ඒ දෘෂ්ටිගතයන් බුදුහු මට ප්රකාශ නො කෙරෙති. බුදුහු යම් දෘෂ්ටිගත කෙනෙක් මට ප්රකාශ නො කෙරෙත් ද එය මට නො රිසි වෙයි. එය මට නො කැමැති වෙයි. මම බුදුන් කරා එළැඹ මෙකරුණ පුළුවුස්නෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ... සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නොවේ යයි හෝ ප්රකාශ කෙරෙත් නම් මෙසෙයින් මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ... සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යයි හෝ ප්රකාශ නො කෙරෙත් නම් මෙසෙයින් මම ශික්ෂාප්රත්යඛ්යානය කොට ගිහි බවට වැටෙමි”යි.
ඉදින් බුදුහු ‘ලෝකය ශාශ්වත යැ’යි දනිත් නම් ‘ලෝකය ශාශ්වත යැ’යි බුදුහු මට ප්රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු ‘ලෝකය අශාශ්වත යැ’යි දනිත් නම් ‘ලෝකය අශාශ්වත යැ’යි බුදුහු මට ප්රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දන්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
ඉදින් බුදුහු: ‘ලෝකය අන්තවත් යැ’යි දනිත් නම් ‘ලෝකය අන්තවත් යැ’යි බුදුහු මට ප්රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු ‘ලෝකය අනන්තවත් යැ’යි දනිත් නම් ‘ලෝකය අනන්තවත් යැ’යි බුදුහු මට ප්රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ලෝකය අන්තවත් යැ’යි හෝ ‘ලෝකය අනන්තවත් යැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දන්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
ඉදින් බුදුහු: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි දනිත් නම් බුදුහු මට ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි ප්රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි දනිත් නම් බුදුහු මට: ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි ප්රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘එමැ ජීව යැ එ මැ ශරීර යැ’යි හෝ ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු වේ’ යයි දනිත් නම් ‘සත්ත්ව තෙම මරණින් මතු වේ’ යයි බුදුහු මට ප්රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු නො වේ’ යැයි දනිත් නම් ‘සත්ත්ව තෙම මරණින් මතු නො වේ’ යයි බුදුහු ප්රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු වේ’යි හෝ ‘සත්ත්ව තෙම මරණින් මතු නො වේ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’ යන තෙල වදන් මැ ඍජු වෙයි.
ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’ යයි දනිත් නම් ‘සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’ යයි බුදුහු මට ප්රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි දනිත් නම් ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි බුදුහු මට ප්රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වෙයි’ හෝ ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි’ හෝ නො ද දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
මාලුඞ්ක්යපුත්රයෙනි, කිම තට මම මෙසේ කීයෙම් ද: “එව මාලුඞ්ක්යපුත්රයෙනි, තෙපි මා කෙරෙහි බඹසර වෙසෙව මම තොපට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙවෙයි’ හෝ ප්රකාශ කෙරෙමි” යයි. වහන්ස, තෙල නො වේ මැ යැ. තවද තෙපි හෝ මට මෙසේ කිවහූ ද: “වහන්ස මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. බුදුහු මට: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි’ හෝ ප්රකාශ කරන්නේ”යයි. වහන්ස, තෙල නො වේ මැ යැ.