2. 2. 2.
මහාරාහුලෝවාද සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස වැඩිසේක. ආයුෂ්මත් රාහුලභද්‍රයෝ ද පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස නුහුබන්හ. එකල්හි බුදුහු පෙරළා බලා ආයුෂ්මත් රාහුලභද්‍රයන් ඇමැතූහ:
“රාහුලය, ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි, යම් කිසි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ රූපයෙක් ඇද්ද, දුරැ වූ හෝ ළඟැ වූ හෝ යම් රූපයෙක් ඇද්ද ඒ හැම රූපය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යයි තෙල මෙසේ තත් වූ පරිදි සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යයි වදාළහ. ‘රූපය මැ ද භාග්‍යවතුන් වහන්ස, රූපය මැ ද භාග්‍යවතුන් වහන්සැ’යි. රාහුලය, රූපයත් වේදනාවත් සංඥාවත් සංස්කාරයෝත් විඥානයත් දැක්ක යුතු යැ’යි.
එකල්හි ආයුෂ්මත් රාහුලභද්‍රයෝ කවරෙක් අද භාග්‍යවතුන් වහන්සේ විසින් හමුයෙහි අවවාදයෙන් අවවාද කරන ලද්දේ ගමට පිඬු පිණිස පිවිසියේ ඇද්ද’යි එයින් මැ නැවැතී එක්තරා රුක්මුලෙකැ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එක්තරා රුක්මුලෙකැ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හුන් ආයුෂ්මත් රාහුලභද්‍රයන් දුටහ. දැක ආයුෂ්මත් රාහුලභද්‍රයන් ඇමැතූහ: “රාහුලයෙනි, ආනාපානසති භාවනාව වඩව. රාහුලයෙනි, වඩනලද පුනපුනා වඩනලද ආනාපානසතිය මහත්ඵල වෙයි, මහත් අනුසස් වේ”යයි.
ඉක්බිති ආයුෂ්මත් රාහුලභද්‍රයෝ සවස් වේලෙහි සමවතින් නැගී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාහුලභද්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, කිසෙයින් වඩනලද, කිසෙයින් බහුල කරනලද ආනාපානසතිය මහත්ඵල වේ ද, මහත් අනුසස් වේ දැ?”යි.
රාහුලයෙනි, තමා පිළිබඳ වූ තමා නිසා හටගත් කර්‍කශ වූ තද බවට පැමිණි මහාභූතයන් නිසා හටගත් යම් කිසි රූපයෙක් වේ ද ඒ මෙසේ යැ: කෙස් ලොම් නිය දත් සිව් මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු හදමස් අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන් නො පැසුණු අහර පැසුණු අහර යන මේ ද, තවද අන්‍ය වූ ත් තමා පිළිබඳ තමා නිසා හටගත් කර්‍කශ වූ තද බවට පැමිණි මහාභූතයන් නිසා හටගත් යම් කිසි රූපයෙකුත් ඇද්ද, රාහුලය, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික පෘථිවිධාතුවක් ඇද්ද, යම් බාහිර වූ පෘථිවිධාතුවකුත් ඇද්ද, තෙල පෘථිවිධාතු මැ යි. ඒ පෘථිවිධාතුව “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නොවේ” යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක පෘථිවිධාතුයෙහි උකටලී වෙයි, පෘථිවිධාතුයෙහි සිත් නො අලවයි.
රාහුලය, ආපෝධාතු කවර යත් “ආපෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ. රාහුලය, ආධ්‍යාත්මික ආපෝධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ යම් ආපයෙක් ආපෝගතයෙක් උපාදින්න වූ යුෂභාවලක්‍ෂණයෙක් ඇද්ද, ඒ කෙසේ යැ යත්: පිත, සෙම, පූයා යැ ලෙහෙ යැ සෝදිය යැ මේදතෙල ,කඳුළු යැ වුරුණුතෙල, කෙළ යැ මුකුණු යැ සඳමිදුළු යැ මූ යැ යන මේ යි. තමා පිළිබඳ වූ තමා අයත් වූ යම් කිසි අන්‍ය වූත් ආපයෙක් ආපෝගතයෙක් උපාදින්න වූ යුෂභාව ලක්‍ෂණයෙක් ඇද්ද, රාහුලය, මේ ආධ්‍යාත්මික ආපෝධාතු යයි කියනු ලැබේ. තවද යම් ආධ්‍යාත්මික ආපෝධාතුයෙක් ඇද්ද, යම් බාහිර ආපෝධාතුයෙකුත් ඇද්ද, තෙලෙ ආපෝධාතු මැ යි. ඒ ආපෝධාතුව “තෙලෙ මාගේ නො වෙයි තෙලෙ මම් නොවෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැන ආපෝධාතුයෙහි උකටලි වෙයි. ආපෝධාතුයෙහි සිත් නො අලවයි.
රාහුලයෙනි, තේජෝධාතු කවර යත්: තේජෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ. රාහුලයෙනි, ආධ්‍යාත්මික තේජෝධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ තේජසෙක් තේජෝගතයෙක් උපාදින්න වූ තේජසෙක් වේ ද, ඒ මෙසේ යැ: (කිපුණු) යම් තේජෝගතයෙකින් මෙ කය තැවේ ද, යම් තේජසෙකින් මෙ කය දිරා ද, යම් තේජසෙකින් මෙ කය දැවේ ද, යමෙකින් බුදිනලද පානය කරනලද, කනලද රසවිඳිනලද ආහාරය (රස රක්තාදි විසින්) පරිණාමයට යේ ද, (එ ද), තවද අන්‍ය වූත් තමා පිළිබඳ වූ තමා අයත් තේජසෙක් තේජෝගතයෙක් උපාදින්න වූ යම් තේජසෙක් වේ ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික තේජෝධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික තේජෝධාතුවක් වේ ද, යම් බාහිර තේජෝධාතුවකුත් වේ ද, මේ තේජෝධාතු මැ යි. ඒ තේජෝධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ’. යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක තේජෝ ධාතුයෙහි උකටලි වෙයි. තේජෝධාතුයෙහි සිත් නො අලවයි.
රාහුලයෙනි, වායෝධාතු කවර යත්; වායෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ, රාහුලයෙනි, ආධ්‍යාත්මික වායෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වූ වායුවෙක් වේ ද, ඒ කෙසේ යැ යත්: උඩට නැඟෙන වාත යැ, යටට බස්නා වාත යැ, අතුණින් බැහැර පවත්නා වාත යැ, අතුණු තුළ පවත්නා වාත යැ, අඟපසඟ සරනා වාත යැ, ආශ්වාස යැ, ප්‍රශ්වාස යැ යන මොහු යි. යළි අන්‍ය වූත් කිසි අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වායුවෙක් ඇද්ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික වායෝධාතු යයි කියනුලැබේ. තවද යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් වේ ද, යම් බාහිර වායෝධාතුවකුත් වේ ද, තෙල වායෝධාතු මැ යැ, ඒ වායෝධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නොවෙමි. තෙලෙ මා ගේ ආත්මය නො වේ යයි තෙල මෙසේ ඇති සැටියෙන් සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු යැ තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් දැක වායෝධාතුයෙහි උකටලි වෙයි, වායෝධාතුයෙහි සිත් නො අලවයි.
රාහුලයෙනි, ආකාශධාතු කවර යත්: ආකාශධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ, රාහුලයෙනි, ආධ්‍යාත්මික ආකාශධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ ආකාශයෙක් ආකාශගතයෙක් උපාදින්න වූ ආකාශයෙක් වේ ද, ඒ මෙසේ යැ: කන්සිද යැ නැහැසිද යැ මුවදොර යැ යමෙකින් අසිතපීත ඛායිතසායිතය ඇතුළත ප්‍රවේශ කෙරේ ද, යම් අවකාශයෙකැ අසිතපීතඛායිතසායිතය පිහිටාසිටි ද යමක් කරණ කොට අසිතපීතඛායිත සායිතය අධෝභාගයෙන් නික්මේ ද (එතැන් ද,) යළි අන්‍ය වූත් යම් කිසි ආධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ආකාශයෙක් ආකාශගතයෙක් උපාදින්නයෙක් වේ ද,