2. 2. 1.
අම්බලට්ඨිකරාහුලෝවාද සූත්රය
මා විසින් මෙසේ අසනලද. එක්කලෙකැ බුදුහු රජගහනුවර නිසා කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් රාහුලභද්රයෝ අම්බලට්ඨිකා නම් පහයෙහි වාසය කෙරෙති. භාග්යවතුන් වහන්සේ සවස්වේලෙහි ඵලසමවතින් නැඟී සිටිසේක් අම්බලට්ඨිකායෙහි ආයුෂ්මත් රාහුලයන් වෙත එළැඹිසේක. රාහුලායුෂ්මත්හු දුරින් මැ වඩනා භාග්යවතුන් වහන්සේ දැක අසුන් පනවා පාදෝනා පිණිස දිය ද එළැවූහ. බුදුහු පැනවූ අස්නෙහි වැඩහිඳ පා දෙවූහ. ආයුෂ්මත් රාහුලභද්රයෝ ද බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මඳ වූ ඉතිරි දිය දියබඳුනෙහි තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූසේක: “රාහුලයෙනි, තෙපි දියබඳුනෙහි තුබූ මේ අල්ප වූ උදකශේෂය දක්නවු දැ” යි. එසේ යැ වහන්සැ’යි. රාහුලයෙනි, එසෙයින් යම් කෙනක්නට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත්ද, ඔවුන්ගේ ශ්රමණධර්මය අල්ප වෙයි.
ඉක්බිති බුදුහු ඒ අල්ප වූ උදකශේෂය බැහැර කොට ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි, තෙපි බැහැර කළ අල්ප වූ උදකශේෂය දක්නවු දැ” යි. එසේ යැ වහන්සැයි. රාහුලයෙනි යම් කෙනකුන්ට දැන දැන මුසාවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔවුන්ගේ ශ්රමණධර්මය බැහැර කරනලද වෙයි.
ඉක්බිති බුදුහු ඒ දියබඳුන යටිහුරු කොට තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි, තෙපි යටිහුරු කළ මේ දියබඳුන දක්නවූ දැ” යි. වදාළහ. එසේ යැ වහන්ස, රාහුලයෙනි, එසෙයින් යම් කෙනක්නට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔවුන්ගේ ශ්රමණධර්මය යටිහුරු කරනලද වෙයි.
ඉක්බිති බුදුහු එදියබඳුන උඩුහුරු කොට තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි තෙපි වැගුරුණු සිස් වූ මෙ දියබඳුන දක්නවු දැ” යි වදාළහ. එසේ යැ වහන්සැ’යි. එසෙයින් රාහුලයෙනි යම් කෙනකුනට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත්ද ඔවුන් ගේ ශ්රමණධර්මය රික්ත යැ තුච්ඡ වේ යයි.
යම්සේ රාහුලයෙනි, රජහට රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ යුද බිමට බටවිරු ඇත්රජෙක් වේ ද, හේ යුදබිමට බටුයේ පෙර දෙපයිනුදු කම් කෙරෙයි, පසු දෙපයිනුදු කම් කෙරෙයි, පෙර කයිනුදු කම් කෙරෙයි, පසුකයිනුදු කම් කෙරෙයි, හිසිනුදු කම් කෙරෙයි, දෙකනිනුදු කම් කෙරෙයි, දෙදළිනුදු කම් කෙරෙයි, නඟුටිනුදු කම් කෙරෙයි, සොඬ රක්නේ මැ යැ. එහිලා ඇතරුහට මෙබඳු සිතෙක් වෙයි: “රජුගේ මෙඇත්රජ රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණු සිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ යුදට ගියවිරූ වූයේ යුදබිමට ගියේ පෙර දෙපයිනුදු කම් කෙරෙයි, පසු දෙපයිනුදු කම් කෙරෙයි, හිසිනුදු කම් කෙරෙයි, දෙකනිනුදු කම් කෙරෙයි, දෙදළිනුදු කම් කෙරෙයි, නඟුටිනුදු කම් කෙරෙයි, සොඬ රක්නේ මැ යැ ඇතුගේ ජීවිතය රජුට නො හරනාලදැ” යි.
රාහුලයෙනි, රජුගේ ඇත් රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණුසිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ සඞ්ගාමාවචර වූයේ.... නඟුටිනුදු කම් කෙරෙයි, සොඬිනුදු කම් කෙරෙයි, එහිලා ඇතරුහට මෙබඳු සිතෙක් වෙයි: “රජුගේ මෙ ඇත් රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණුසිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ සඞ්ගාමාවචර වූයේ යුදබිමට ගියේ .. නඟුටිනුදු කම් කෙරෙයි, සොඬිනුදු කම් කෙරෙයි, ඇතුගේ ජීවිතය රජහට පරිත්යාග කරන ලදැයැ. මෙවිට ඇතු විසින් රජහට කිසි කටයුත්තෙක් නැතැ” යි. එසෙයින් මැ රාහුලයෙනි, යම් කිසිවකුට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔහු විසින් කිසි පවක් නො කටහැකි යයි මම නො කියමි. එහෙයින් මෙහි ලා රාහුලයෙනි, කෙළි පිණිස ද මුසවා නො බෙණෙමී, මෙසේ රාහුලයෙනි, තොප විසින් හික්මියයුතු.
රාහුලයෙනි, ඒ කිමැයි සිතවු ද? කැටපත කුමක් ප්රයෝජන කොට ඇත්ද?යි. වහන්ස පිරික්සා බැලීම ප්රයෝජන කොට ඇතැ’යි. එසෙයින් මැ රාහුලයෙනි, පිරික්ස පිරික්සා කයින් කම් කළයුතු යැ. පිරික්ස පිරික්සා බසින් කම් කළයුතු යැ. පිරික්ස පිරික්සා මනසින් කම් කළයුතු යැ.
රාහුලයෙනි, තෙපි යම් මැ කමක් කරනුකැමැතිවුවහු ද තොප විසින් එ මැ කායකර්මය පිරික්සියයුතු යැ: “මම කයින් යම් කර්මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කායකර්මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ පරහට දුක් පිණිස ද පවත්නේ යැ දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ මේ කායකර්මය අකුසල යැ දුක් වඩනේ යැ දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නවු ද: “මම කයින් යම් කර්මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කායකර්මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ පරහට දුක් පිණිස ද පවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ මේ කායකර්මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් කයින් මෙබඳු කර්මය එකත්නෙන් නො කටයුතු යැ. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නවු නම්: “මම කයින් යම් කර්මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කාය කර්මය නො මැ තමහට දුක් පිණිස පවත්නේ යැ, පරහට දුක් පිණිස නොපවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස නො පවත්නේ යැ. මේ කායකර්මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් කයින් මෙබඳු කර්මය කළයුතු.
රාහුලයෙනි, තොප කයින් කර්ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ කායකර්මය ප්රත්යවේක්ෂා කළයුතු යැ: “මම් කයින් යම් කර්මයක් කෙරෙම් ද, මාගේ මේ කායකර්මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති. දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි ප්රත්යවේක්ෂා කරන්නහු මෙසේ දන්නහු නම්: මම් කයින් යම් කර්මයක් කෙරෙම් ද මාගේ මේ කායකර්මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති. දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු කායකර්ම නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: “මම් කයින් යම් කර්මයක් කෙරෙම් ද මාගේ මේ කායකර්මය තමහට දුක් පිණිස නො මැ පවති, පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති, මේ කායකර්මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු කායකර්ම කරව.