2. 1. 7.
කුක්කුරවතිය සූත්රය
මා විසින් මෙසේ අසන ලද. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි හලිද්දවසන නම් කෝලිය නියම්ගම්හි වැඩවසනසේක. එකල ගෝව්රත සමාදාන කළ කෝලිය පුත්ර පුණ්ණ හා ශුනකව්රත සමාදාන කළ සේනිය නම් නුවට හා දෙදෙන භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ගෝව්රත ගත් කෝලියපුත් පුණ්ණ බුදුන් සකසා වැඳ එකත්පස් වැ හින. බලුතව ගත් සේනිය නුවට බුදුන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි කලතුරුහි සිහි කළයුතු කථා කොට නිමවා කුකුරකු සෙයින් හැකිළීගෙන එකත්පසෙක හින. එකත්පසෙක පසෙක හුන් ගෝවතික කෝලියපුත් පුණ්ණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ. වහන්ස, බලුතව ගත් මේ සේනිය නුවට දුෂ්කරක්රියා කරන්නෙක. බිමලූවක් වළඳ කෙරෙයි. ඔහු විසින් ඒ බලුතව දීර්ඝරාත්රයෙහි පිරිපුන් කොට ගන්නාලදි. ඔහුගේ ගති කවර? පරලොව උපත් කවරෙ? යි. ‘පුණ්ණය, කම් නැත, තෙල පැන තිබියේවා. තෙල පැන මා නො පුළුවුස යි. දෙවන වට ද … තුන්වනවට ද ගෝවතික කෝලියපුත් පුණ්ණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළ: ‘වහන්ස, බලුතව ගත් මේ සේනිය නුවට දුෂ්කරක්රියා කරන්නෙක, බිම ලූවක් වළඳ කෙරෙයි. ඔහු විසින් ඒ බලුතව දීර්ඝරාත්රියෙහි පිරිපුන් කොට සමාදන් කරන ලදි. ඔහු ගේ ගති කවර? පරලොව කවරෙ? යි. ‘පුණ්ණය, කම් නැත, තෙල තිබියේවා. තෙල පැන මා අතින් නො පුළුවුස’ යි, (කිව ද) පුණ්ණය, මම තොප බස් එකැතින් නො ලැබෙමි. වැළිත් තොපට මම ප්රකාශ කරමි.
පුණ්ණය, මෙලොව එකෙක් බලුතව අනූන කොට නිරතුරු කොට වඩයි. බලුසිල් අනූන කොට නරතුරු කොට වඩයි. බලුසිත් අනූන කොට නරතුරු කොට වඩයි. බලු වෙස් අනූන කොට නරතුරු කොට වඩයි. හේ බලුතව අනූන කොට නරතුරු කොට වඩා බලුසිල් අනූන කොට නරතුරු කොට වඩා බලුසිත් අනූන කොට නරතුරු කොට වඩා ශුනකාකල්ප අනූන කොට නරතුරු කොට වඩා කාබුන් මරණින්මතු ශුනකයන්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් ඔහුට මෙවන් දෘෂ්ටියෙක් වේ ද: ‘මම මේ ශීලයෙන් හෝ ව්රතයෙන් හෝ තපසින් හෝ බ්රම්සරින් හො දෙවි හෝ වෙම්වා අන්යතර දෙවියෙකිම් හෝ වෙම්වා’ යි. ඒ දෘෂ්ටිය ඔහුගේ මිසදිටු වෙයි. පුණ්ණය, මම මිථ්යාදෘෂ්ටිකයාහට දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි. එනම්: ‘නිරෑ හෝ තිරිසන් යොන හෝ’ යි. පුණ්ණය, මෙසේ (දෘෂ්ටියෙන් අසම්මිශ්ර වැ) සැපයෙන බලුතව බල්ලන්ගේ සහභාවයට එළවයි. වරදවාගත් දිටු නිරෑ එළවතී වදාළෝ.
මෙසේ වදාළ කල බලුතව ගත් සේනිය නුවට හැඬී. කඳුළු හෙළී. එසඳ භාග්යවතුන් වහන්සේ ගෝව්රත ගත් කෝලිය පුත් පුණ්නහට තෙල වදාළෝ: ‘පුණ්ණය, කම් නැත. තෙල පැන තිබියේවා, මා අතින් තෙල පැන නො පුළුවුස’ යි යන තෙල පුණ්ණය, මම නො ලත්මි. භාග්යවතුන් වහන්සේ යම් ව්යාකරණයක් මා ගෙන මෙසේ වදාළසේක් ද: වහන්ස, මම තෙල ව්යාකරණයට නො හඬමි. වහන්ස, වැළිත් මා විසින් මේ බලුතව අනූන කොට සමාදාන වශයෙන් ගන්නා ලදි. වහන්ස, ගෝව්රත සමාදාන කළ කෝලියපුතු මේ පුණ්ණ වේ ද ඔහු විසින් ඒ ගෝව්රතය දීර්ඝරාත්රියෙහි අනූන කොට සමාදාන වශයෙන් ගන්නා ලදි. ඔහු ගේ ගති කවර? පරලෝ කවරෙ? සේනිය කම් නැත, තෙල තිබියේවා. තෙල මා නො පුළුවුස’ යි. දෙවන වට ද … තුන්වන වට ද බලුතව ගත් සේනිය නුවට භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: ‘වහන්ස, කෝලියපුත් මේ පුණ්ණ ගෝව්රත ඇත්තෙක. ඔහු විසින් ඒ ගෝව්රතය දීර්ඝරාත්රියෙහි අනූන කොට මොනොවට ගන්නාලදි. ඔහුගේ ගති කවර? පරලෝ කවරෙ? යි. ‘සේනිය, කම් නැත, තෙල තිබියේවා. තෙල මා නො පුළුවුස’ (කිව ද) යනු සේනිය මම තොප බස් ඒකාන්තයෙන් නො ලබමි. වැළිත් මම තොපට ප්රකාශ කරමි.
සේනිය, මෙලොව කිසිවෙක් ගෝව්රතය අනූන කොට නරතුරු කොට වඩයි. ගෝශීලය අනූන කොට නරතුරු කොට වඩයි. ගෝචිත්තය අනූන කොට නරතුරු කොට වඩයි. ගවාකල්පය අනූන කොට නරතුරු කොට වඩයි. හේ ගෝව්රතය අනූන කොට නරතුරු කොට වඩා ගෝශීලය අනූන කොට නරතුරු කොට වඩා ගෝචිත්තය අනූන කොට නරතුරු කොට වඩා ගවාකල්පය අනූන කොට නරතුරු කොට වඩා කාබුන් මරණින් මතු ගෙරින්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් වනාහි ඕහට මෙබඳු දෘෂ්ටියෙක් වේ ද: ‘මම මේ ආචාරයෙන් හෝ ව්රත සමාදානයෙන් හෝ තපසින් හෝ බ්රහ්මචර්ය්යෙයන් හෝ දෙව් හෝ වෙමි, දෙවාන්යතර හෝ වෙමි’ යි. ඒ දෘෂ්ටි ඔහුගේ මිථ්යාදෘෂ්ටි වෙයි. සේනිය, මම මිථ්යාදෘෂ්ටිකයාහට නිරයගතිය හෝ තිරිසන් යෝනිය හෝ දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි. සේනිය, මෙසේ සම්පජ්ජමාන ගෝව්රතය ගවයන්ගේ සහභාවයට එළවයි. විපද්යමාන ගෝව්රතය නිරයට එළවයි.
මෙසේ වදාළ කල ගෝව්රත සමාදාන කළ කෝලියපුත් පුණ්ණ හැඬී. කඳුළු හෙළී, එසඳ බුදුහු බලුතව ගත් සේනිය අචේලකයාහට තෙල වදාළහ: ‘සේනිය, කම් නැත. තෙල තිබියේවා, තෙල කරුණ මා නො පුළුවුස්ව’ යි සේනිය, මම තෙල කරුණ තා අතින් නො ලත්මි. වහන්ස, භාග්යවතුන් වහන්සේ මට යම් කරුණක් මෙසේ වදාළ සේක් ද , මම තෙල ව්යාකරණයට නො හඬමි. වැළිත් වහන්ස, මේ ගෝව්රතය මා විසින් දීර්ඝරාත්රියෙහි මොනොවට ගන්නා ලදි, මොනොවට සමාදාන කරන ලදි. වහන්ස, මම භාග්යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ ප්රසන්නයෙමි. යම් පරිදි මමත් මේ ගෝව්රතය හරනෙම් ද, කුකුරුවත ගත් මේ සේනිය අචෙළකත් ඒ කුකුරවත හරනේ වේ ද, එසේ දහම් දෙසන්නට භාග්යවතුන් වහන්සේ සමත්හ’ යි. පුණ්ණය, එ කරුණින් අසව, මනාකොට මෙනෙහි කරව, කියමි යි. ‘වහන්ස, එසේ යැ’ යි ගෝවත ගත් කෝලියපුත් පුණ්ණ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක:
‘පුණ්ණය, මෙ සතර කර්ම කෙනෙක් මා විසින් තමා මැ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රවිදිත වැ ඇත. කවර සතර කෙනෙක යත්: පුණ්ණය, කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක වූ කර්මයෙක් ඇත. පුණ්ණය, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්මයෙක් ඇත. පුණ්ණය, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති කර්මයෙක් ඇත. පුණ්ණය, අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණ අශුක්ල විපාක ඇති කර්මක්ෂයට වැටෙන කර්මයෙක් ද ඇති’ යි.