2. 1. 8.
අභයරාජ කුමාර සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි (බිම්බිසාර මහරජහු පිත්) අභය රාජකුමාර නිගණ්ඨ නාතපුත්රයා කරා එළැඹ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අභය රාජකුමාරයාහට නිගණ්ඨ නාතපුත්ර තෙල කී: “එව රාජකුමාරය, තෙපි ශ්රමණ ගෞතමයන්හට වාදාරෝපණය කරව, අභය රජකුමරහු විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්රමණ ගෞතමයන්හට වාදාරෝපණ කරන ලදැ’යි මෙසේ තොප ගේ කල්යාණ වූ යසගොස උස් ව නැඟේ” යයි. වහන්ස, මම මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්රමණ ගෞතමයන්හට කිසෙයින් වාදාරෝපණය කෙරෙම් දැ’යි.
එව රාජකුමාරය, තෙපි ශ්රමණ ගෞතමයා කරා එළැඹ ශ්රමණ ගෞතමයන්හට මෙසේ කියව. “වහන්ස, යම් වචනයෙක් අන්යයනට අප්රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය කියන්නාහු දැ”යි , ඉදින් තොප විසින් ශ්රමණ ගෞතම මෙසේ පුළුවුස්නා ලදුයේ ‘රාජකුමාරය, යම් වචනයෙක් අන්යයනට අප්රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය කියන්නාහ’යි මෙසේ ප්රකාශ කෙරේ නම් තෙපි ඔහුට මෙසේ කියව, ‘වහන්ස, එකල්හි පුහුදුන් පුඟුල්හු හා තොප ගේ නානාකරණය කිමෙක් ද? පුහුදුන් පුඟුල් ද යම් වචනයෙක් අන්යයනට අප්රිය අමනාප වේ ද, ඒ වචනය කියන්නේ යැ’යි යළි ඉදින් ශ්රමණ ගෞතම තොප විසින් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්රකාශ කෙරේ ද, රාජ කුමාරය, යම් වචනයෙක් අන්යයනට අප්රිය අමනාප වේ නම්, තථාගතයෝ ඒ වචනය නො කියන්නාහ’යි. තෙපි ඔහුට මෙසේ කියව: “වහන්ස, එකල්හි තොප විසින් ‘දෙව්දත් අපායෙහි උපදිනුයෙක, දෙව්දත් නිරයෙහි උපදිනුයෙක, දෙව්දත් කල්පයක් සිටිනුයෙක, දෙව්දත් (බුදුදහසුන් විසිනුදු) පිළියම් නො කළ හෙනුයෙකැයි කුමක් හෙයින් දේවදත්ත පවසනලදුයේ ද? තවද තොප ගේ ඒ බසින් දෙව්දත් කිපියේ නො සතුටු වූයේවී” යයි. රාජකුමාරය, තොප විසින් ශ්රමණ ගෞතම මේ උභතෝකෝටික ප්රශ්නය පුළුවුස්නා ලදුයේ වමාරනට හෝ ගළනට හෝ නො මැ හැකි වෙයි. පුරුෂයකුගේ කණ්ඨයෙහි ලැගුණු යසඟළුවෙක් යම් පරිදි වේ ද හේ එය වමාරන්නට හෝ ගළනට හෝ නො මැ හැකි වන්නේ යැ. එපරිදි රාජකුමාරය, තොප විසින් ශ්රමණ ගෞතම මේ උභතෝකෝටික ප්රශ්න පුළුවුස්නා ලදුයේ වමාරන්නට නො මැ හැකි වෙයි. ගළනට නො මැ හැකි වෙයි.
වහන්ස, එසේ යැ’යි අභයරාජකුමාර නුවට නතපුත්හට පිළිවදන් දී හුනස්නෙන් නැඟී නුවට නතපුත්හු සකසා වැඳ පැදකුණු කොට භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හින. එකත්පසෙක හුන් අභය රාජකුමාරහට හිරු බලා තෙල සිත් වී: අද භාග්යවතුන් වහන්සේට වාදාරෝපණ පිණිස කල් නො වෙයි. දැන් මම සෙට සිය නිවෙසෙහි දී භාග්යවතුන් වහන්සේට වාදාරෝපණ කෙරෙමි’යි. භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ, වහන්ස, භාග්යවතුන්
වහන්සේ සෙට තමා සිවු වැනි වැ මාගේ බත ඉවසන සේක්වා’යි. භාග්යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. එසඳ අභයරාජකුමාර භාග්යවතුන් වහන්සේගේ ඉවසුම් දැන හුනස්නෙන් නැඟී භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ එරැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙන අභයරාජකුමාරයාගේ නිවෙස්න කරා වැඩියහ. වැඩ, පැන්වූ අස්නෙහි හුන්හ. එසඳ අභයරාජකුමාර භාග්යවතුන් වහන්සේ ප්රණීත ඛාද්යභෝජ්යයෙන් සියතින් සතපාලී යැ. මොනොවට පවරාලී යැ. එසඳ අභයරාජකුමාර වළඳා නිමවූ පාත්රයෙන් ඉවත් කළ අත් ඇති භාග්යවතුන් වහන්සේ වෙතැ එක්තරා මිටිඅස් නක් ගෙන එකත්පසෙක හින. එකත්පසෙක හුන් අභයරාජකුමාර භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ.
වහන්ස, තථාගතයන් වහන්සේ යම් බඳු වචනයෙක් මෙරමාහට අප්රිය අමනාප වේ, නම් ඒ වචන වදාරනසේක් ද? රාජකුමාරය, මෙ කරුණෙහි ලා ඒකාන්තයෙන් විසඳුම් නැති. වහන්ස, මෙ කරුණෙහි ලා නුවටහු නටහ යි. රාජ කුමාරය, කවර හෙයෙකින් තෝ මෙසේ කියහි? ‘වහන්ස, නුවටහු මෙහි දී නටහ’යි. වහන්ස, මම නුවට නතපුත් කරා එළැඹියෙමි. එළැඹ නුවට නතපුත්හු සකසා වැඳ එකත්පසෙකැ හිනිමි. වහන්ස, එකත්පසෙකැ හුන් මට නුවට නතපුත් තෙල කී: රාජකුමාරය, තෝ එව. මහණ ගොයුම් හට වාදාරෝපණ කරව. එසේ කළ කල ‘අභයරාජකුමාරයා විසින් මෙ බඳු මහ ඉදුහ ඇති මෙ බඳු මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට වාදාරෝපණ කරන ලදැ’යි තාගේ කල්යාණ කීර්තිඝෝෂා උස් වැ නැඟී යයි. වහන්ස, මෙසේ කී කලැ මම නුවට නතපුත්හට තෙල කීමි: ‘වහන්ස, මම මෙ බඳු මහත් ඍද්ධි ඇති මෙ බඳු මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට කිසෙයින් නම් වාදාරෝපණ කෙරෙම් දැ?’යි රාජකුමාරය, තෝ එව. මහණ ගොයුම්හු කරා එළැඹෙව. එළැඹ මෙසේ කියව: ‘වහන්ස, තථාගතයන් වහන්සේ මෙරමාහට අප්රිය අමනාප වූ යම් වචනයෙක් වේ නම් ඒ වචන වදාරන දෑ දැ’යි. ඉදින් තා විසින් මහණ ගොයුම් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්රකාශ කෙරේ ද: රාජකුමාරය, මෙරමාහට අප්රිය අමනාප වූ යම් වචනයෙක් වේ නම් ඒ වචන තථාගතයන් වහන්සේ වදාරන දෑ යයි. ප්රකාශ කෙරේ ද, තෝ එ මහණගොයුම්හට මෙසේ කියන්නෙහි: ‘වහන්ස, එසේ වී නම් පෘතග්ජනයා හා තොප වහන්සේගේ නානාත්ව කිම? යම් හෙයෙකින් පෘථග්ජන තෙමේත් යම් වචනයෙක් මෙරමාහට අප්රිය අමනාප වේ නම්, ඒ වචන කියන්නේ ද’ එහෙයිනැයි. ඉදින් වැළිත් මහණ ගොයුම් තා විසින් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්රකාශ කෙරේ ද: ‘රාජකුමාරය, යම් වචනයෙක් මෙරමාහට අප්රිය අමනාප වේ නම් තථාගතයන් වහන්සේ ඒ වචන නො වදාරන දෑ යැ’යි. එ මහණ ගොයුම්හට තෝ මෙසේ කියනෙහි: “වහන්ස, එසේ වී නම් තොප වහන්සේ විසින් ‘දෙව්දත් අපායෙහි උපදිනුයෙක, දෙව්දත් නිරයෙහි උපදිනුයෙක, දෙව්දත් කල්පයක් සිටිනුයෙක, දෙව්දත් (දහසක් බුදුන් විසිනුදු) පිළියම් නො කළ හෙනුයෙකැ’යි කුමක් හෙයින් දේවදත්ත පවසන ලදුයේ ද? තවද තොප වහන්සේගේ ඒ බසින් දෙව්දත් කිපියේ නො සතුටු වූයේ වී” යයි. රාජකුමාරය, තොප විසින් ශ්රමණ ගෞතම මේ උභතෝකෝටික ප්රශ්නය පුළුවුස්නා ලදුයේ වමාරන්නට හෝ ගළනට හෝ නො වැ හැකි වෙයි. පුරුෂයකුගේ කණ්ඨයෙහි ලැගුණු අයොසිඞ්ඝාටකයෙක් (යසඟළුවෙක්) යම් පරිදි වේ ද හේ එය වමාරන්නට හෝ ගළනට නො මැ හැකි වන්නේ යැ. එපරිදි රාජකුමාරය, තොප විසින් ශ්රමණ ගෞතම මේ උභතෝකෝටික ප්රශ්න පුළුවුස්නා ලදුයේ වමාරන්නට නො මැ හැකි වෙයි, ගළනට නො මැ හැකි වේ” යයි.