2. 1. 6.
උපාලි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දායෙහි පාවාරික නම් සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි නිගණ්ඨනාතපුත්‍ර මහත් නුවට පිරිස් සමග නාලන්‍දායෙහි වෙසෙයි. එකල දීර්‍ඝතපස්වී නුවට නාලන්‍දායෙහි පිඬු පිණිස හැසිර සවස්වේලෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ පාවාරික අඹ වෙනෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යි. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු කථා කොට නිමවා එක් පසෙක සිටියේ යැ. එක් පසෙක හුන් දීර්‍ඝතපස්වී නුවටුහට තෙල වදාළහ. ‘තපස්විය, අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව’යි. මෙසේ වදාළ කල්හි දීර්‍ඝතපස්වී නුවට එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හින. එක් පසෙක හුන් දීර්‍ඝතපස්වී නුවටුහට බුදුහු තෙල වදාළහ.
තපස්විය, නිගණ්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් කර්‍ම පනවා ද? යි. ඇවැත්නි ගෞතමයෙනි, නිගණ්ඨනාථපුත්‍රහට ‘කර්‍ම යැ කර්‍ම යැ’යි දක්වනු අනාචිර්‍ණ යැ. ඇවැත්නි, ගෞතමයෙනි, නිගණ්ඨනාථපුත්‍රහට ‘දණ්ඩ යැ දණ්ඩ යැ’යි දක්වනු ආචීර්‍ණ යැ යි. තපස්විය, නිගණ්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් දණ්ඩ දක්වා දැ? යි. ඇවැත්නි, ගෞතමයෙනි, නිගණ්ඨනාතපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට තුන් දණ්ඩයක් දක්වයි. ඒ මෙසේ යැ: කායදණ්ඩ යැ වාග්දණ්ඩ යැ මනෝදණ්ඩ යි. කිමෙක තපස්විය, කායදණ්ඩය අනෙකෙකැ වාග්දණ්ඩය අනෙකෙකැ මනෝදණ්ඩය අනෙකෙකැ’යි. ඇවැත්නි, ගෞතමයෙනි, කායදණ්ඩ අනෙකෙකැ වාග්දණ්ඩ අනෙකෙකැ මනෝදණ්ඩ අනෙකෙකැ’යි.
තවද තපස්විය, මෙසේ බෙදනලද මෙසේ වෙසෙසන ලද තුන් දණ්ඩයන් අතුරෙන් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට නිගණ්ඨනාථපුත්‍ර කවර දණ්ඩයක් මහාසාවද්‍යතර කොට පනවා ද? කායදණ්ඩ හෝ යැ වචීදණ්ඩ හෝ යැ මනෝදණ්ඩ හෝ යැ’යි. ඇවැත්නි, ගෞතමයෙනි, මෙසේ බෙදන ලද මෙසේ වෙසෙසන ලද තුන් දණ්ඩයන් අතුරෙන් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට නිගණ්ඨනාථපුත්‍ර කායදණ්ඩය මහාසාවද්‍යතර කොට පනවයි. වචීදණ්ඩය එසේ නො වෙයි. මනෝදණ්ඩය එසේ නො වේ යයි. තපස්විය, කායදණ්ඩය යි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. තපස්විය, කායදණ්ඩ යයි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. තපස්විය, කායදණ්ඩය යි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. මෙසේ භාග්‍යවත්හු දීර්‍ඝතපස්වී නුවටු මේ කථාවස්තුයෙහි තුන් වර දක්වා පිහිටි වූහ.
මෙසේ වදාළ කලිහි දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් දණ්ඩයන් පනවවු දැ? යි. තපස්විය, තථාගතයනට දණ්ඩ යැ දණ්ඩ යැ යි දක්වනු අනාචීර්‍ණ යැ. තපස්විය, තථාගතයනට කර්‍මය යැ කර්‍මය යැ යි දක්වනු ආචීර්‍ණ යැ. ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් කර්‍මයන් දක්වවු දැ? යි. තපස්විය, මම පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කර්‍ම තුනක් දක්වමි. ඒ මෙසේ යැ: කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යි. ඇවැත්නි, ගෞතමයෙනි, කායකර්‍ම අනෙකෙක් ද? වාක්කර්‍ම අනෙනෙක් ද? මනඃකර්‍ම අනෙකෙකැ’යි.
තවද ඇවැත්නි, ගෞතමයෙනි, මෙසේ බෙදනලද මෙසේ වෙසෙසනලද මේ තුන් කර්‍මයන් කෙරෙහි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කවර කර්‍මයක් මහාසාවද්‍යතර කොට පනවවු ද? කායකර්‍ම හෝ යැ වාක්කර්‍ම හෝ යැ මනඃකර්‍ම හෝ යැ යි. තපස්විය, මම මෙසේ බෙදනලද මෙසේ වෙසෙසන ලද තුන් කර්‍මයන් කෙරෙහි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට මනඃකර්‍ම මහාසාවද්‍යතර යයි දක්වමි. කායකර්‍ම එසේ නො වෙයි. වාක්කර්‍ම එසේ නො වෙයි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. මෙසේ දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් මේ කථාවස්තුයෙහි තුන් යළ දක්වා පිහිටුවා හුනස්නෙන් නැඟී නිගණ්ඨනාතපුත්‍රයා කරා එළැඹියේ යි.
එසමයෙහි නිගණ්ඨනාතපුත්‍ර උපාලි ගෘහපති ප්‍රමුඛ කොට ඇති බාලකලෝණකාර ගම්වැසි මහත් වූ ගිහිපිරිස් සමග හුන්නේ වෙයි. නිගණ්ඨනාතපුත්‍ර දීර්‍ඝතපස්වී නුවටු දුර දී මැ එන්නහු දිට. දැක දීර්‍ඝතපස්වී නුවටුහට තෙල කී: ‘තපස්විය, තෙපි දෙවෙන් දහවලැ කොහි සිට එවු දැ?’යි. ‘වහන්ස, මම මහණගොයුම්හු සමීපයෙහි සිට එමි’යි කී. තපස්විය, ශ්‍රමණගෞතමයන් සමග තොපගේ කිසියම් කථාසල්ලාපයෙක් වි දැ? යි. ‘වහන්ස, ශ්‍රමණ ගෞතමයන් සමග මාගේ කිසියම් කථාසල්ලාපයෙක් වී යැ’යි. තපස්විය, ශ්‍රමණගෞතමයන් සමග තොපගේ කිසි කථාසල්ලාපයෙක් කිසෙයින් වී දැ? යි. ඉක්බිති දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, එහැම නිගණ්ඨනාතපුත්‍රහට සැල කෙළේ යැ. මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්‍ර දීර්‍ඝතපස්වී නුවටුහට තෙල කී: මැනැව මැනැව තපස්විය, මොනොවට ශාස්තෘශාසනය දන්නාවූ ශ්‍රැතවත් ශ්‍රාවකයකු යම්සේ ද එසෙයින් දීර්‍ඝතපස්වී නුවටහු විසින් ශ්‍රමණ ගෞතමයනට ප්‍රකාශ කරනලද. කිම මෙසේ මහත් වූ මේ කායදණ්ඩය සඳහා ලාමක වූ මනෝදණ්ඩය හොබනේ ද? වැළි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩය එසේ නො වෙයි. මනෝදණ්ඩය එසේ නො වේ යයි.