2. 1. 3.
සේඛ සූත්රය
මා විසින් මෙසේ අසන ලදි. එක් සමෙයක්හි භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්රෝධාරාමයෙහි වැඩ වාසය කරනසේක. එසමයෙහි කිඹුල්වත්පුර වැසි ශාක්යයන් විසින් අභිනව සන්ථාගාරයෙක් කැරැ වූ නො බොහෝ කල් වෙයි. මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි යම් මැ මිනිසකු විසින් නො වසනලද වෙයි. එසඳ කිඹුල්වත් වැසි සැහැකුල වැසියෝ බුදුන් කරා එළැඹියහ. එළැඹ සකසා බුදුන් වැඳ පසෙක හුන්හු. එකත්පසෙක හුන් කිඹුල්වත්පුර වැසි ශාක්යයෝ බුදුන්ට තෙල සැල කොළෝ: ‘වහන්ස, කිඹුල්වත් වැසි සැහැකුල වැසියන් විසින් අභිනව සන්ථාගාරයෙක් කැරැ වූ නො බොහෝ කල් වෙයි. මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි මනුෂ්ය වූ යම් මැ කෙනකුන් විසින් වාස නො කරනලදි යි. වහන්ස, භාග්යවතුන් වහන්සේ ඒ මහහල පළමු වැ ලා වළඳ කරන සේක්වා. භාග්යවතුන් වහන්සේ විසින් පළමු වැ ලා වළඳ කළ හල පසු වැ ලා කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ වළඳ කෙරෙති. එය කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවනට හිතසුව පිණිස වැටේ’යයි. භාග්යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූසේක.
ඉක්බිති කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ බුදුන්ගේ අධිවාසනා දැන හුනස්නෙන් නැඟී බුදුන් සකසා වැඳ පැදැකුණු කොට සන්ථාගාරශාලාව කරා එළැඹියහ. එළැඹැ සන්ථාගාරය හැම තැන් ඇතිරි ලීමෙන් අතුරා අසුන් පන්වා දියසැළ තබා තෙල්පහන් නඟා බුදුන් කරා එළැඹියහ. එළැඹැ බුදුන් සකසා වැඳ එකත්පස් වැ සිටියෝ. එකත්පස් වැ සිටි කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ බුදුන්ට තෙල සැලකොළෝ: ‘වහන්ස සන්ථාගාරය සර්වසංස්තරණ කොට අතුරන ලද. ආසනයෝ පනවන ලදහ. දියසැළ එළවා තබන ලදි. තෙල් පහන් නැංවී. වහන්ස, භාග්යවතුන් වහන්සේ එයට දැන් කල් දන්නාසේක්ව’යි. එසඳ භාග්යවතුන් වහන්සේ සංවිධානයෙන් හැඳ පා සිවුරු ගෙන බික්සඟුන් සමග වැඩවදාළහ. වැඩ වදාරා පා දෙව සන්ථාගාරයට පිවිස මැඳුම්ටැඹ ඇසිරි කොට පෙරදිගට මුහුණ ලා වැඩහුන්හු. බික්සඟහු ද සන්ථාගාරයට වැද පැසිම්බිත් ඇසිරි කොට පෙරදිගට මුහුණ ලා බුදුන් මැ පෙරටු කොටගෙන හුන්හු. කිඹුල්වත් වැසි සැහැරජදරුවෝ ද පා දොවා සන්ථාගාරයට වැද පෙරදිගබිත් ඇසිරි කොට පැළදික් ලූ මුහුණු ඇති වැ බුදුන් මැ පෙරටු කොට හුන්හ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ කිඹුල්වත් වැසි සැහැරජුන් රෑ බොහෝ වේලෙහි දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ‘ආනන්දය, කිඹුල්වත් වැසි සැහැ රජුනට පිළිපන් සේඛ මහණ (ගැන දෙසන්නට) තොපට වටහාව’යි. මාගේ පිට මඳක් ගිලන් වෙයි. මම් ඒ මඳක් සන්හිඳුවමි යි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. එසඳ බුදුහු සඟළ සිවුගුණ කොට පනවා දකුණු පයෙහි වම්පය හයා තබා සිහි ඇති වැ සම්ප්රඥාන ඇති වැ උත්ථාන සංඥා මෙනෙහි කොට දකුණැළයෙන් සිංහශය්යා කළහ.
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ‘මහානාම’ සැහැරජු ඇමතූහ: මහානාමය, මෙ සස්නෙහි ආර්ය්ය ශ්රාවක පිරිපුන් සිල් ඇතියේ වෙයි. ඉඳුරන්හි පියූ දොර ඇතියේ වෙයි, බොජුනෙහි පමණ දන්නේ වෙයි. නිදි වැරීමෙහි යෙදුණේ වෙයි, (ශ්රද්ධාදි) සප්ත සද්ධර්ම යෙන් සමන්වාගත වූයේ වෙයි, අධිචිත්තය ඇසිරු කළ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධ්යානයෙන් රිසිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල ව ලබනුයේ වෙයි.
මහානාමය, කිසෙයින් ආර්ය්යශ්රාවක ශීලසම්පන්න වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක සිල්වත් වෙයි, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර දෙකින් යුකුත වූයේ අණුමාත්ර වද්යයෙහි බිය දක්නාසුලු ව වෙසෙයි, ශික්ෂා කොටසෙහි ඒ ඒ ශික්ෂාපදය දැඩි ව ගෙන හික්මෙයි, මෙසෙයින් මහානාමය, ආර්ය්යශ්රාවක ශීලසම්පන්න වූයේ වේ.
මහානාමය, කිසෙයින් ආර්ය්යශ්රාවක ඉඳුරන්හි පියූ දොර ඇතියේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක චක්ෂුර්විඥානයෙන් රූප දැක නිමිත්ත විසින් නො ගන්නේ අනුව්යඤ්ජන විසින් නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්ෂුරින්ද්රිය අසංවෘත කොට වාස කරන තුලුහු අභිධ්යා දෞර්මනස්ය සඞ්ඛ්යාත ලාමක අකුශලධර්මයෝ ලුහුබඳනාහු වෙද් ද, ඒ චක්ෂුරින්ද්රියා ගේ සංවරය පිණිස පිළිපන්නේ වෙයි. චක්ෂුරින්ද්රියය රකියි, චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙ යි. ශ්රෝත විඥානයෙන් ශබ්ද අසා … ඝ්රාණවිඥාන යෙන් ගඳ ආඝ්රාණය කොට ... ජිහ්වාවිඥානයෙන් රස විඳ … කායවිඥානයෙන් ස්ප්රෂ්ටව්යය ස්පර්ශ කොට … මනෝවිඥානයෙන් ධර්මාලම්බන දැන නිමිත්තග්රාහී නො වෙයි. අනුව්යඤ්ජනග්රාහී නො වෙයි, යම් කරුණෙකින් මනින්ද්රිය අසංවෘත කොට වාස කරණ තුලුහු ලාමක අකුශලධර්ම වූ අභිධ්යා දෞර්මනස්යයෝ ලුහුබඳනාහු ද ඒ මනින්ද්රියාගේ සංවරයට පිළිපන්නේ වෙයි, මනින්ද්රියය රකී, මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. මෙහෙයින් මහානාමය, ආර්ය්යශ්රාවක ඉඳුරන්හි පියූ දොර ඇත්තේ වෙයි.
මහානාමය, කිසෙයින් ආර්ය්යශ්රාවක භෝජනයෙහි මාත්රඥ වෙයි යත්: මහානාමය, මෙසස්නෙහි ආර්ය්යශ්රාවක නුවණින් ප්රත්යවේක්ෂා කොට ආහාරය ආභරණ කෙරෙයි. කෙළි පිණිස නො මැ වෙයි, මද පිණිස නො වෙයි, සැරසුම් පිණිස නො වෙයි, විභූෂණ පිණිස නො වෙයි. මේ කය සිටීම පිණිස යැපීම පිණිස වෙහෙස සන්සිඳීම පිණිස බඹසරට අනුග්රහ පිණිස මතුයෙක් මැ වෙයි. මෙසේ පැරැණි බඩගිනි වේදනා නසමි. අලුත් වේදනා නූපදවමි. මා ගේ ජීවිතයාත්රා ද අනවද්යභාවය ද පහසු විහරණ ද වන්නේ යැ යි. මෙසෙයින් මහානාමය, ආර්ය්යශ්රාවක භෝජනයෙහි මාත්රඥ වූයේ වෙයි.
මහානාමය, ආර්ය්යශ්රාවක කිසෙයින් නිදිවැරීමෙහි යෙදුණේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක දවස සක්මනින් නිෂද්යායෙන් යෙදී නීවරණධර්මයන් ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්රියෙහි ප්රථම යාමය සක්මනින් නිෂද්යායෙන් යෙදී ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්රියෙහි මධ්යම යාමය දකුණුපයෙහි වම්පය මඳක් ඇඳ තබා සිහි නුවණ ඇති ව උත්ථානසංඥා මෙනෙහි කොට දකුණැළයෙන් සිංහ ශය්යා කෙරෙයි. රාත්රියෙහි පශ්චිම යාමය නැගී සිට සක්මනින් නිෂද්යායෙන් යෙදී ආවරණීය ධර්මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. මෙසෙයින් මහානාමය, ආර්ය්යශ්රාවක නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.