2. 1. 2.
අට්ඨකනාගර සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර බේලුවගාමයෙහි වැඩ වාස කෙරෙති. එකල අට්ඨකනගර වැසි දසම ගැහැවි කිසියම් කරුණෙකින් පැළලුප් නුවරට පැමිණියේ වෙයි. අට්ඨකනගර වැසි දසම ගැහැවි කුක්කුටාරාමයෙහි එක්තරා මහණක්හු කරා එළැඹියේ යැ. එළැඹැ ඒ මහණහු සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අට්ඨකනගර වැසි දසම ගැහැවි ඒ මහණහට තෙල කී: ‘වහන්ස, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දැන් කොහි වෙසෙත් ද? අපි ඒ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දක්නා කැමැත්තම්හ’යි. ‘ගැහැවිය, තෙල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර බේලුවගාමයෙහි වැඩ වාස කෙරෙති’යි. එසඳ අට්ඨකනගර වැසි දසම ගැහැවි පැළලුප් නුවර ඒ කරණී නිමවා විශාලා මහනුවර බේලුවගාමයෙහි ආනන්ද ස්ථවිරයන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අට්ඨකනගර වැසි දසම ගැහැවි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට තෙල කී:
‘වහන්ස, ආනන්දයෙනි, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්යවතුන් වහන්සේ විසින් අප්රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක ලා නො මිදුණු හෝ සිත් මිදේ ද, ක්ෂය නො වූ හෝ ආස්රවයෝ ක්ෂයට යෙත් ද, නො ලැබූ හෝ අනුත්තර යෝගක්ෂේමය නුවණින් ලබා ද, එබඳු එක් ධර්මයෙක් වදාරන ලද්දේ වේ ද? ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්යවතුන් වහන්සේ විසින් අප්රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක්හි ලා නො මිදුණා වූ ද සිත මිදේ ද, ක්ෂය නො වූ ආස්රවයෝ ක්ෂයට යෙත් ද, නො ලැබූ අනුත්තර යෝගක්ෂේමයත් නුවණින් ලබා ද එබඳු එක් ධර්මයෙක් වදාරන ලද්දේ වෙයි. වහන්ස, ආනන්දයෙනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්යවතුන් වහන්සේ විසින් අප්රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හු ගේ යම් අරමුණෙක ලා නො මිදුණා වූත් සිත මිදේ ද, ක්ෂය නො වූත් ආස්රවයෝ ක්ෂයට යෙත් ද, නො ලැබූත් අනුත්තර යෝගක්ෂේමය නුවණින් ලබා ද, එබඳුවූ වදාරන ලද එක් ධර්මය කවරේ යැ.
ගැහැවිය, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල දහමින් වෙන් වැ විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්රීති සුඛ ඇති පළමු වන දැහැන් උපයා වාස කෙරෙයි. හේ මෙසේ සිතයි: ‘මේ ප්රථමධ්යානය ද උපදවන ලද්දෙකි. සිතින් නිපදවන ලද්දෙකි. යම් කිසිවක් කරන ලද නම් සිතින් නිපදවන ලද නම් ඒ අනිත්ය යැ. නිරුද්ධ වන සැහැවි ඇති’යි නුවණින් දනියි. හේ එහි සිටියේ ආස්රවක්ෂයට පැමිණෙයි. ඉදින් ආස්රවක්ෂයට නො පැමිණේ නම් ඒ ශමථවිදර්ශනාමය ධර්මරාගයෙන් පඤ්චඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ, එහි මැ පිරිනිවෙයි. ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්යක් සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ විසින් අප්රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන මහණක්හුගේ අවිමුක්ත චිත්තය විමුක්ත වේ ද, අපරික්ෂීණ ආස්රවයෝ පරික්ෂයට යෙත් ද නො පැමිණි අනුත්තර යෝගක්ෂේමය ලබා ද මෙ එබඳුවූ එක් ධර්මයෙක් ද වදාරන ලද්දේ වෙයි.
තවද, ගැහැවිය, මහණ විතර්කවිචාරයන්ගේ ව්යුපශමයෙන් සිය සතන්හි සම්ප්රසාද ඇති කරන දෙවන දැහැන් උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: මේ දෙවන දැහැන ද උත්පාදිත යැ ප්රකල්පිත යැ. යම් කිසිවක් උත්පාදිත වේ නම් ප්රකල්පිත වේ නම් ඒ අනිත්ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇත්තේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ආස්රවයන්ගේ ක්ෂයට පැමිණෙයි. ඉදින් ආස්රවක්ෂයට නො පැමිණේ නම් ඒ ශමථවිදර්ශනා ඡන්දරාගයෙන් මැ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය වැ යෑමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ පිරිනිවන් පානේ යැ. ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්යක් සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ විසින් අප්රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක්හි ලා අවිමුක්ත වූත් සිත විමුක්ත වේ ද අපරික්ෂීණ වූත් ආස්රවයෝ පරික්ෂයට යෙත් ද අප්රාප්ත වූත් අනුත්තර යෝගක්ෂේමය ලබා ද මෙ එබඳු වූ එක් ධර්මයෙක් ද වදාරන ලද්දේ වෙයි.
තවද, ගැහැවිය, මහණ … ප්රීතිවිරාගයෙනුදු තුන්වන දැහැන උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: මේ තුන්වන දැහැන ද සිතින් නිපදවන ලද්දෙකි. සිතින් කරන ලද්දෙකි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්ෂේමයට පැමිණෙයි.
තවද, ගැහැවිය, මහණ සුඛප්රහාණයෙනුදු … සියුවන දැහැන උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: මේ සියුවන දැහැන ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්ෂේමයට පැමිණෙයි.
තවද, ගැහැවිය, මහණ මෛත්රී සහගත සිතින් එක් දිගක් පැහැස වාස කෙරෙයි. එ සෙයින් මැ දෙවන දිග ද එසෙයින් මැ තුන්වන දිග ද එසෙයින් මැ සතර වන දිග දැ යි මෙසේ උඩ, යට සරස හැම තන්හි සර්වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්රමාණ වූ අවෛර වූ අව්යාබාධ වූ මෛත්රී සහගත සිතින් පැහැස වාස කෙරෙයි. හේ මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: මේ මෙත්තාචේතෝවිමුක්තිය ද කරන ලද්දක. සිතින් නිපදවන ලද්දකි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්ෂේමයට පැමිණෙයි.