1. 4. 9.
මහාඅස්සපුර සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්යවතුන් වහන්සේ අඞ්ග ජනපදයෙහි අඟුරටවැසියන්ගේ අස්සපුර නම් නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි මහණන් ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සේ’යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක:
2. මහණෙනි, මහදෙනේ තොප ‘ශ්රමණයහ, ශ්රමණයහ’යි හඳුනන්නේය. තෙපිදු ‘තෙපි කවරහු’යි පුළුවුස්නා ලදුව ‘ශ්රමණයම්හ’යි පිළින කරව. මහණෙනි, මෙබඳු නම් ඇති, මෙබඳු පිළින දෙන ඒ තොප විසිනුදු “ශ්රමණ කරණ (පව් සමණ කරණ) බ්රාහ්මණකරණ (පව් බහන) යම් ධර්ම ඇත් ද, ඒ ධර්මසමාදාන විසින් ගෙන වැටෙම්හ. මෙසේ වත්ම, අපගේ මේ ශ්රමණ සංඥාව සත්ය වෙයි. ප්රතිඥා ද යථාර්ත්ථ වෙයි. අපි යම් ම කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කරමෝ ද, උන් අප කෙරෙහි කරන ඒ උපකාරයෝ මහත්ඵල මහානෘශංස වෙති. අපගේ ද මේ පැවිද්ද අවන්ධ්ය වෙයි, සඵල වෙයි, සවෘද්ධික වෙයි” කියා මෙසෙයින් මහණෙනි, තොප හික්මෙන්නේ මැනැව.
3. මහණෙනි, ශ්රමණකරණ - බ්රාහ්මණකරණ ධර්මයෝ කවරහ යත්:
4. “හිරි ඔතප් දෙකින් සමන්වාගත වම්හ”යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
5. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරි ඔතප් දෙකින් සමන්වාගතයම්හ. එමතුයෙන් පමණ වෙයි. එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්රාමණ්යාර්ත්ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති” යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
6. මහණෙනි, තොප බෙණෙමි. මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබිය දී, ශ්රාමණ්යාර්ත්ථීව සිටුනා තොපගේ ශ්රාමණ්යාර්ත්ථය (මාර්ග හා ඵල) නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) කායසමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ, මෙරමා නොගරම්හ”යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
7. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්වාගතයම්හ. අපගේ කායසමාචාරපිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එතෙකින් මහණුම් කරන ලදි. අප විසින් ශ්රාමණ්යාර්ත්ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
8. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්රාමණ්යාර්ත්ථීව සිටුනා තොපගේ ශ්රාමණ්යාර්ත්ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ වාක්සමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නොවෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) වාක්සමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නොගරහම්හ” යි මහණෙනි, මෙසෙසින් තොප හික්මෙන්නේ මැනැව.
9. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එමතුයෙන් මහණුවම්කරන ලදී. අප විසින් ශ්රාමණ්යාර්ත්ථය ලබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
10. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්රාමණ්යාර්ත්ථීව සිටුනා තොපගේ ශ්රාමණ්යාර්ත්ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ මනඃසමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) මනඃසමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නොගරහම්හ” යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
11. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃ සමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම කරනලදී. අප විසින් ශ්රාමණ්යාර්ත්ථය ලැබිණ. මතුයෙහි අපට කරණී කිසිදු නැති” යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.