4. මහා යමක වර්ගය
1. 4. 1.
චූළගෝසිඞ්ග සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්යවතුන් වහසන්සේ නාදික ගම්හි ගෙඩිගෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද ගෝසිඞ්ගසාලවනළැහැබෙහි වාස කරත්. එකල භාග්යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතහින් නැගී ගෝසිඞ්ගසාලවනළැහැබ කරා වැඩිසේක.
2. අරණ්ය පාලකයා භාග්යවතුන් වහන්සේ වඩනවුන් දුර දී ම දිට. දැක භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “මහණ තෙල වනයට නො පිවිසෙනු මැනව. මෙහි කුලපුත්රයෝ තිදෙනෙක් ඇත. තමන්ට හිත කැමැති සැහැවි ඇතිව වසත්. ඔවුන්ට නො පහසු නො කරන්නේ මැනව” කියායි.
3. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ භාග්යවතුන් වහන්සේ හා මන්ත්රණ කරන අරණ්යපාලකයාගේ කථාව ඇසූහ.. අසා අරණ්යපාලකයාට තෙල කී හ: “කියග වනපාලය, භාග්යවතුන් වහන්සේ නො වළහව. අප ශාස්තෘ වූ භාග්යවතුන් වහන්සේ පැමිණි සේකැ” යි.
4. එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ ආයුෂ්මත් නන්දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් වෙත ගියහ. ගොස් ආයුෂ්මත් නන්දිය තෙරුන්ට හා ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ද තෙල කී ය: “ආයුෂ්මත්නි, වරෙව. ආයුෂ්මත්නි, වරෙව. අප ශාස්තෘ වූ භාග්යවතුන් වහන්සේ වැඩි සේක” කියා යි.
5. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ ද ආයුෂ්මත් නන්දිය තෙරණුවෝද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්යවතුන් වහන්සේ පෙරමගට ගියහ. පෙරගමන් කොට එක් නමෙක් භාග්යවතුන් වහන්සේගේ පා සිවුරු ගත්තේ ය. එක් නමෙක් අසුනක් පැණවී ය. එක් නමෙක් පා දෝනා දිය එළවී ය. භාග්යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ භාග්යවතුන් වහන්සේ පා දෙවූහ. ඒ ආයුෂ්මත්හු භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ.
6. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “අනුරුද්ධයෙනි, කිම්, සිහිය හැකි ද? යැපිය හැකි ද? කිම, පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වවු ද?
7. “භාග්යවතුන් වහන්ස, සිහිය හැකි ය. භාග්යවතුන් වහන්ස, යැපිය හැකි ය. නො කලකුළු වම්හ.”
8. අනුරුද්ධයෙනි, කිම තෙපි සමග ව සතුටු ව විවාද නොකරමින් කිරි හා දිය වැනි ව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරවු ද?
9. “වහන්ස අපි ඒකාන්තයෙන් සමගිව සතුටුව විවාද නො කරමින් කිරි හා දිය මෙන් එක්ව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරම්හ.”
10. අනුරුද්ධයෙනි, තෙපි, කෙසේ නම්, සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් කිරි හා දිය වැනිව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරන්නහුද?
11. “වහන්ස, මෙහි දී මට මෙ වැනි අදහසෙක් වෙයි: යම් බඳු මම මෙ වැනි සබ්රම්සරුන් සමඟ වාස කරම් ද, ඒ මට ඒකාන්තයෙන් ලාභ ය. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂ්මතුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්රී සහගත කායකර්මය එළඹ සිටියේය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්රී සහගත වාක්කර්මය එළඹ සිටියේය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්රී සහගත මනඃකර්මය එළඹ සිටියේය. වහන්ස, ඒ මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වාස කරන්නෙම් නම් මැනව’යි සිත් ඇති වෙයි. වහන්ස, මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත්විසින් වැටෙමි. වහන්ස, අප සිරුර වෙන් වෙයි. සිත එකතු වනැ”යි.
12. ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද … ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ:- “වහන්ස, මට ද මෙ වැනි අදහසෙක් වෙයි: යම් බඳු මම මෙවැනි සබ්රම්සරුන් සමග වෙසෙම් ද, ඒ මට ඒකාන්තයෙන් ලාභය. මට යහපත් ලැබුමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂ්මතුන් විෂයෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්රීසහගත කායකර්මය එළඹ සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්රීසහගත වාක්කර්මය එළඹ සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්රීසහගත මනඃකර්මය එළඹ සිටියේ ය. වහන්ස මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වාස කරන්නෙම් නම් මැනැවැ’ යි මෙසේ අදහස ඇති වේ. වහන්ස, මම මාගේ සිත බහා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වැටෙමි. ශරීර වෙන් වෙයි. සිත එකකුම වනැ’යි. මෙසේ අපි සමග ව සතුටු වෙමින් විවාද නො කරමින් කිරි හා දිය වැනියමෝ ඔවුනොවුන් පිය ඇසින් බලමින් වාස කරම්හ.
13. අනුරුද්ධයෙනි, සාධු සාධු, අනුරුද්ධයෙනි, කිම් තෙපි අප්රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයු සිත් ඇතිව වාස කරන්නහු ද?
14. “වහන්ස, අපි ඒකාන්තයෙන් අප්රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වාස කරම්හ.”
15. අනුරුද්ධයෙනි, තෙපි කෙසේ වනාහි අප්රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නහුද?